ඉන්දු ලංකා සබඳතා: නව බලාපොරොත්තුවක්?

Image copyright AFP
Image caption ජනාධිපතිවරයා සමග පාඨලි චම්පික රණවක, මංගල සමරවීර, රාජිත සේනාරත්න, ඩීඑම් ස්වාමිනාදන් යන අමාත්‍යවරු ඇතුළු දාහත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ඉන්දීය සංචාරය පිළිබඳව බීබීසී හින්දි සේවයේ දිල්ලි වාර්තාකරු සුබේර් අහමඩ් ගේ විමසුමක සිංහල පරිවර්තනයයි මේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු සිය ප්‍රථම නිල විදෙස් සංචාරය ඉන්දියාවේ සිදු කිරීම, ඉන්දු ශ්‍රී ලංකා සබඳතා යළි පණ නැංවීම සඳහා ලබා දෙන සංඥාවක් ලෙස සැලකේ.

භූගෝලීය වශයෙන් පමණක් නොව ඓතිහාසික වශයෙනුත් ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන්නේ ඉන්දියාවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළත් දිල්ලි පාලනයට ශ්‍රී ලංකාවෙන් ඈත් වී සිටීමට නොහැකි විය.

පුරා දශක තුනක කාලයක් පැවති සිවිල් යුද්ධය දෙදහස් නවය වසරේදී අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සහ ආර්ථිකයට සහාය ලබා දෙන ප්‍රධාන රට බවට පත් වූයේ චීනයයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වඩ වඩාත් චීනය දෙසට නැඹුරු වීමත් සමග ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති සබඳතා නීරස අවධියක් කරා ගමන් කරමින් තිබුණි.

පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන ලැබූ ජය සඳහා ඉන්දීය මාධ්‍ය වැඩි ඉඩකඩක් ලබා දී ඇති බවක් දක්නට ලැබුණි.

ඉන්දීය හිතවාදී පාලනයක් ලෙස පෙනෙන්නට තිබෙන ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව යටතේ දෙරටේ සබඳතා යළි තහවුරු කර ගැනීම කෙරෙහි දිල්ලි පරිපාලනය බලාපොරොත්තු තබා සිටින බවක් දක්නට තිබේ.

ඓතිහාසික මිතුරා

ශ්‍රී ලංකාවේ දෙමළ ජාතීන්ගේ ඉල්ලීම් ඉටු කරවා ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව රහසක් නොවෙයි.

නමුත් දිල්ලි පරිපාලනය මේ මොහොතේ වඩාත් උනන්දුවක් දක්වන්නේ චීන හිතවාදීභාවය දැඩි ලෙස කප්පාදුවකට ලක් කර වීමට හෝ නතර කර වීම සඳහා ජනාධිපතිවරයා පොලඹවා ගැනීමටයි.

යටිතල පහසුකම් නංවාලීමේ ව්‍යාපෘති සඳහා පසුගිය වසර පහ ඇතුළතදී ඩොලර් බිලියන පහක අගයකින් යුත් ආයෝජන හෝ ණය චීනය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දී තිබේ.

දෙදහස් තුන වසරේ සිට ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා වැය කර ඇත්තේ ඩොලර් බිලියනයකටත් අඩු ප්‍රමාණයක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ පාබළ හමුදාවට අයත් අවි ආයුධවලින් සියයට හැටක් පමණ ප්‍රමාණයක් චීන නිෂ්පාදන බව ඉන්දීය විශ්ලේෂකයෝ පවසති.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමයේ අත්සන් කරන ලද චීන ව්‍යාපෘති පිළිබඳ යළි සලකා බලන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිඥා දීමත් සමග ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි නව බලාපොරොත්තු දල්වා ගෙන සිටියි.

කෙසේ වෙතත් විශ්ලේෂකයන් පවසන්නේ අලුතින් හමු වූ ධනවත් මිතුරා සහ වසර සිය ගණනක් පුරා ඉතිහාසය බෙදා හදා ගත් ඓතිහාසික මිතුරා අතරින් එක් අයකු තෝරා ගැනීම නව ජනාධිපතිවරයාට ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර