මීතොටමුල්ල කුණු කන්දට අධිකරණ නියෝගයක්

Image copyright Getty

මීතොටමුල්ල ප්‍රදේශයේ ගොඩ ගසනු ලබන කසල සඳහා විකල්ප ස්ථාන හඳුනා ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට නියම කරයි.

එම කසල කඳු හේතුවෙන් පාරිසරික හානි සිදු වන බව පවසමින් ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් කැඳවු අවස්ථාවේදී යි අධිකරණය මෙම නියෝගය කළේ.

විකල්ප ස්ථාන පිළිබඳව අධිකරණයට නිසි පිළිතුරක් දීමට කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා අපොහොසත් වූ බව මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ පූජ්‍ය මාතර කවිධජ හිමියෝ ප්‍රකාශ කරති.

‘මෙම කැලි කසල බැහැර කිරීම සදහා විකල්ප ස්ථාන තෝරාගෙන ඒවා පිළිබඳව අද දින අධිකරණයට දැනුම් දෙන මෙන් මිට පෙරද දැනුම් දී තිබුනා. එහෙත් එවැනි විකල්ප ස්ථාන පිළිබඳව දැනුම් දීමට අද දින අධිකරණය හමුවේ පෙනී සිටි කොළඹ නගරාධිපතිවරයා පිළිතුරක් දීමට අපොහොසත් වුනා.’ උන් වහන්සේ චෝදනා කළහ.

නගරාධිපති

එහෙත් කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් කියා සිටියේ විකල්ප කැලි කසල බැහැර කිරීමේ ස්ථාන හඳුනා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි.

කොළඹ කසල දුම්රිය මගින් පුත්තලමට රැගෙන යාමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද නගරාධිපතිවරයා කියා සිටියේය.

එහෙත් ඊට විරෝධය පල කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය කියා සිටියේ දුම්රිය මගින් කැලි කසල පුත්තලමට රැගෙන යාමේ වැඩ පිළිවෙල ප්‍රායෝගික නොවන බවයි.

'ප්‍රායෝගික නැහැ'

‘මේක ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොවෙයි. මෙය වියදම් අධික වැඩසටහනක්. පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් තිබිය දී මෙවැනි ප්‍රායෝගික නොවන වැඩසහන් තෝරා ගැනීම පිළිබඳව දැඩි සැකයක් ඇතිවෙනවා.’ ඔහු චෝදනා කළේය.

ලබන 27 වනදා අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය කොළඹ මහ නගර සභාවට නියම කළේය.