ඉන්දු-ශ්‍රී ලංකා න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක්

Image copyright AFP

සිය පළමු විදේශ සංචාරය ආරම්භ කරමින් ඊයේ ඉරිදා (15) ඉන්දියාවට ලඟා වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා වලින් අනතුරුව න්‍යෂ්ටික සහයෝගීතාවය ද ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කීපයකට අදාළ ගිවිසුම් හතරකට අත්සන් තබනු ලැබුණි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සිව්දින ඉන්දීය සංචාරයේ දෙවන දිනය අදයි.

තමා වෙනුවෙන් පැවැත්වුන දිවා භෝජන සංග්‍රහය දී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දු - ශ්‍රී ලංකා පෞරාණික සම්බන්ධතා ඉස්මතු කරමින් කියා සිටියේ තමන් පැවැත්වූ ද්විපාර්ශවීය සාකච්ඡා මගින් පලදායී ගිවිසුම් කීපයකට පදනම වැටුන බව කියා සිටියේය.

මේ අතර ජන මාධ්‍ය සඳහා නිකුත් කරන ලද නිවේදනයක් මගින් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ද්විපාර්ශ්වීය සබඳතා සහ ජාත්‍යන්තර කාරනා පිළිබඳව ශ්‍රී ලංකාවේ නව නායකයා සමඟ සාර්ථක සාකච්ඡාවක නිරත වූ බවයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ ගනුදෙනුකරු බවට පත්වීමට ඇති මනාපය ප්‍රකාශයට පත් කරන අගමැති මෝදි, ද්විපාර්ශ්වීය මට්ටමින් ශ්‍රී ලංකාව සමඟ සිදු කෙරෙන සිදු කෙරෙන වෙළෙඳාමේ වඩාත් සමතුලිත වර්ධනයක් සඳහා සිය සහයෝගය ලැබෙන බවයි සඳහන් කරන්නේ.

සාම්ප්‍රධායික මෙන්ම පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කල බව ඉන්දියානු අගමැතිවරයා ඉහත කී ප්‍රකාශය මගින් කියා සිටියි.

ගිවිසුම් හතරක්

ඉන්දීය විදේශ අමාත්‍යංශය මගින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක් අනුව අද සඳුදා (16) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ප්‍රධාන ගිවිසුම් හතරක් අත්සන් කරනු ලැබ ඇති අතර ඉන් එකක් සාමකාමී අරමුණු උදෙසා න්‍යෂ්ටික සහයෝගීතාවයට අදාළ වූවකි.

මෙවැනි ගිවිසුමක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද පළමු අවස්ථාව මෙයයි.

Image copyright ap
Image caption ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ආචාර පෙළපාලියක් පිරික්සමින්.

තවද, ආරක්ෂක අංශයේ සහයෝගීතාවය වර්ධනය කිරීමට ද දෙරට එකඟ වූ බව අගමැති මෝදි පවසයි.

අත්සන් කරනු ලැබ අති දෙවන ගිවිසුම 2015-18 අතර වසර වල දෙරට අතර සංස්කෘතික සහයෝගීතාවට අදාළ වෙයි.

මේ හැර පෞරාණික බෞද්ධ සරසවියක් වන නාලන්දා විශ්ව විද්‍යාලය යළි තහවුරු කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමක් ද වෙයි.

කපිලවස්තු සර්වඥ ධාතු වන්දනාව සඳහා දිල්ලි ජාතික කෞතුකාගාරයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අය කරන ගාස්තු අඩු කිරීමට ද ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.

එසේම, ඉන්දු - ශ්‍රී ලංකා කෘෂිකාර්මික සහයෝගිතාවය සම්බන්ධයෙන් 2014-15 වසර සඳහා වැඩ සැලැස්මක් ඇතුළත් ගිවිසුමක් ද දෙරටේ නියෝජිතයන් විසින් අත්සන් තබනු ලැබ ඇත.

ධීවර ගැටලුව

දෙරට අතර පසුගිය අවධියේ ගැටලුකාරී තත්වයක් මතු කරන ලද ධීවර ප්‍රශ්නය ගැනත් ඉන්දු ශ්‍රී ලංකා නායක සාකච්ඡාවන්හිදී සැලකිල්ලට ලක් වී ඇත.

දෙරටේ ධීවර සංවිධාන ඉක්මනින් යළි සාකච්ඡා මේසයට ගෙන ඒමට දිරි ගන්වන බවත් දෙරටේ ආණ්ඩු විසින් පෙරට ගෙන යා හැකි විසඳුමක් එම ධීවර සංවිධාන විසින් සොයා ගත යුතු බවත් ඉන්දීය අගමැතිවරයා මාධ්‍ය සඳහා නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය අගමැතිවරයාට ආරාධනයක් කර ඇති අතර එම ආරාධනය භාර ගනිමින් ලබන මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන බවයි අගමැති මෝදි පවසන්නේ.

ශ්‍රී ලංකා අගමැතිවරයා අද සවස් භාගයේ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මුණ ගැසුණි.