‘නිල් බලකාය අහෝසියි’ - සුසිල් ප්‍රේම් ජයන්ත්

Image caption නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම් ජයන්ත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය මට්ටමින් ‘නිල් බලකාය’ මින් මතුවට ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත් පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පදවියට පත් කරනු ලැබීමෙන් පසු බීබීසී සංදේශය කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

‘අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ව්‍යුහය තුළ ‘නිල් බලකාය’ වැනි සංවිධාන ක්‍රියාත්මක වුනේ නැහැ. අපට තිබුණේ ශ්‍රීලං කා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය සහ කාන්තා සංවිධානය වැනි ආයතනයි. ඉදිරි කාලයෙහි පක්ෂයට අනුබද්ධ සංවිධාන හැටියට එම සංවිධාන ක්‍රියාත්මක වෙනවා’ නව ජාතික සංවිධායකවරයා පවසයි.

මෛත්‍රී යටතේ

ලබන අප්‍රියෙල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් අනතුරුව පැවැත්වෙන මී ළඟ මහ මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාගේ නායකත්වය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තරඟ වදින බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ඉහත කී සාකච්ඡාවේ දී කියා සිටියේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිර්පාක්ෂික ජනාධිපතිවරයකු හැටියට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා නොවේදැයි බීබීසී වාර්තාකරු අසාම් අමීන් සිහිපත් කළ විට සුසිල් ප්‍රේම් ජයන්ත් හිටපු ඇමතිවරයා කියා සිටියේ එය එදා එම ප්‍රකාශය කරන මොහොත වන විට පැවති දේශපාලන වාතාවරණය අනුව කරන ලද ප්‍රකාශයක් වූ බවයි.

‘එතුමා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බලයට ගෙන ඒම සඳහා අද එතුමා කටයුතු කරනවා’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා කියා සිටියි.

මහින්ද ප්‍රවේශය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ භූමිකාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ විට පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම ජයන්ත් ප්‍රකාශ කළේ, ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරන්නේ ද යන්න එතුමා විසින් ම තීරණය කළ යුතු බවයි.

එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුනොත් ඒ ගැන සලකා බලන බවත් සුසිල් ප්‍රේම ජයන්ත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

වාර දෙකක් ජනාධිපති පදවියේ කටයුතු කළ හිටපු ජනාධිපතිවරයා යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතුද නැද්ද යන්න ‘එතුමා විසින්ම’ තීන්දු කළ යුතු බවයි’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා කියා සිටියේ.

බදාදා රැස්වීම

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ දේශපාලන පක්ෂ කීපයක් මගින් ලබන බදාදා (18) කැඳවා ඇති ප්‍රසිද්ධ රැස්වීම පිළිබඳව විමසීමක් කළ විට නව ජාතික සංවිධායකවරයා ප්‍රකාශ කළේ එය පෞද්ගලික අරමුණු මුල් කර ගනිමින් කැඳවන ලද්දක් වන බවයි.

එවැනි රැස්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ආරාධනයක් ලැබී නොමැති බවත් ඔහු කියා සිටියේය.

බදාදා රැස්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හවුල් තවත් පක්ෂ කීපයක් ද එක් නොවන බවයි වාර්තා වන්නේ.