ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ජාතික ආණ්ඩු එකඟතාවක් නැහැ’ - සුසිල්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයත් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවක් නොමැති බව එම පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම් ජයන්ත් හිටපු ඇමතිවරයා පවසයි.

ලබන අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් අනතුරුව පැවැත්වෙන මී ළඟ මහ මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කරමින් තනි ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තුවන බවයි ඔහු පවසන්නේ.

ඔහු එම ප්‍රකාශය කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පදවියට පත් කර ගනු ලැබීමෙන් පසු බීබීසී සංදේශය කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

අද තත්වය වෙනස්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොදු විපක්ෂය සමග ඇති කර ගත් එකඟතාවය අනුව ඉදිරි ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන එකක් නොවේදැයි බීබීසිය විමසූ විට නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම් ජයන්ත් මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස එවන් කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බවයි.

එසේම එම අවස්ථාවේ තිබුණු දේශපාලන වාතාවරණය සහ අද පවතින තත්වය වෙනස් බවයි ඔහු පවසන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කරන බවට එකගවී තිබෙනවා නොවේදැයි බීබීසී වාර්තාකරු අසාම් අමීන් සිහිපත් කළ විට සුසිල් ප්‍රේම් ජයන්ත් හිටපු ඇමතිවරයා කියා සිටියේ එතුමා දේශපාලන පක්ෂයක නායකයා වන විට එම එකඟතාව එසේම රැක ගැනීමට නොහැකි බවයි.

‘එතුමා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බලයට ගෙන ඒම සඳහා අද එතුමා කටයුතු කරනවා’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා කියා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ භූමිකාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ විට පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම ජයන්ත් ප්‍රකාශ කළේ, ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරන්නේ ද යන්න එතුමා විසින් ම තීරණය කළ යුතු බවයි.

නිල් බලකාය

එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුනොත් ඒ ගැන සලකා බලන බවත් සුසිල් ප්‍රේම් ජයන්ත් මන්ත්‍රීවරයා පවසයි.

වාර දෙකක් ජනාධිපති පදවියේ කටයුතු කළ හිටපු ජනාධිපතිවරයා යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතුද නැද්ද යන්න ‘එතුමා විසින්ම’ තීන්දු කළ යුතු බවයි’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා කියා සිටියේ.

‘නිල් බලකාය’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය මට්ටමින් මින් මතුවට ක්‍රියාත්මක නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත් කියා සිටියි.