ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'රනිල් කියූ බකිංහැම් මාලිගාවක් අපේ ප්‍රදේශයේ නැහැ'

අගමැතිවරයා ප්‍රකාශ කළ පරිදි බකිංහැම් මාලිගාවක් වැනි නිවාඩු නිකේතනයක් පානම ප්‍රදේශයේ ඉදි කර නොමැති බව නැගෙනහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

පසුගිය ආණ්ඩුවේ සිටි බලවතුන්ගේ සුඛ විහරණය උදෙසා ආරුගම්බේ ප්‍රදේශයේ බකිංහැම් මාලිගාවටත් විශාල නිවාඩු නිකේතනයක් ඉදි කොට ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි හිටපු පළාත් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ.

අඩක් නිම කරන ලද ගොඩනැගිලි කිහිපයක් එම ස්ථානයට ගිය තමාට දැක ගැනීමට හැකි වූ බව විමලවීර දිසානායක පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘මේ බාගෙට හදපු ඇටසැකිලි වගේ ගොඩනැගිලි ටික බකිංහැම් මාලිගයට සම කරා කියලා දන්නවා නම් බ්‍රිතාන්‍යයේ රැජින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව නඩු දායි කියලා මම විශ්වාස කරනවා’ ඔහු පැවසීය.

'පරීක්ෂණයක්'

මීට පෙර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ඉදි කරනු ලැබූ නිල නිවාස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රයෝජනය සඳහා ඉදි කළා යැයි පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි නැගෙනහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ඉහත කී ස්ථානයේ ඇති ගොඩනැගිලි ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ කියා සිටි බව සංදේශය වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල පැවසුවේය.

'මේකට මිලියන දාහක් වියදම් වෙලා තියනවා. හැබැයි ඒ සඳහා පාවිච්චි කරලා තියන ගොඩනැගිලි අමුද්‍රව්‍ය සඳහා මිලියන සියයකට වඩා යන්න විදිහක් නැහැ. එතකොට මිලියන නවසීයක් කොහෙද ගියේ කියන එක ප්‍රශනයක්’ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ වැඩි දුරටත් පැවසුවේය.