ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ඉන්දු ලංකා න්‍යෂ්ටික ගිවිසුමෙන් වැඩි වාසි ලංකාවට'

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවේ නිරතව සිටින සංචාරයේදී එළඹ තිබෙන ගිවිසුම් අතරින් ඉන්දු ලංකා න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමේ වැඩි වාසි අත් වන්නේ ලංකාවට බව මහාචාර්ය මොහාන් මුණසින්හ පවසයි.

සංදේශයේ පවිත්‍රා පෙරේරා සමග ඒ සම්බන්ධයෙන් විග්‍රහයක යෙදුණු මහාචාර්ය මොහාන් මුණසින්හ ශ්‍රී ලංකාවේ 1982 සිට 1987 දක්වා රජයේ ජේෂ්ඨ බලශක්ති උපදේශක වශයෙන් කටයුතු කළ අතර 2007 වසරේ දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනයට හිමි වූ නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ පරීක්ෂණ ආයතනයේ කටයුතු කරන ලදි.

මහාචාර්ය මොහාන් මුණසින්හ පවසන්නේ මෙම නව සහයෝගිතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ඉන්දියාව සතු න්‍යෂ්ටික දැනුම ලබා ගත හැකි අතර කෘෂිකර්මය, වෛද්‍ය විද්‍යාව වැනි අංශ තුළ ආපදා වලින් තොරව න්‍යෂ්ටික දැනුම භාවිතා කිරීමට ඉඩකඩ සැලසෙන බවයි.

ගිවිසුමෙන් ඉන්දියාවට ප්‍රධාන වශයෙන් ඇත්තේ දේශපාලනික වාසියක් පමණක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා වැඩි දුරටත් කියා සිටියේ ලෝකය තුල ඉන්දියාවේ දේශපාලනික සමබරතාව රැකීමට මෙන්ම ඉන්දු ලංකා සහයෝගිතාව දැඩි කිරීම ගිවිසුමේ දේශපාලනික පසුබිම වන බවයි.