ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන සාධාරණද?

වෘත්තීය සමිති නායකයෙකු යැයි කියා ගන්නා, රාජ්‍ය නොවන සංවිධාන කරුවෙකුගේ බලපෑම නිසා තමන්ට හිමි දීමනා නැවතී ඇති බව වෛද්‍යවරු පවසති.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මේ බව කියා සිටියේ බීබීසීයේ තිසර අරවින්ද රතුවිතාන සමඟ පැවති සාකච්ඡාවක දී.

තම ඉල්ලීම් සඳහා රජය නිසි ප්‍රතිචාර ලබා නොදුනහොත් වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ.

ජනතාවගේ මුදලින්

ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් රෝගීන් දඩ මීමා කර ගෙන මෙසේ වර්ජනයකට යාම යුක්ති ගරුක දැයි බීබීසීය ඇසූ පැනයට පිළිතුරු දෙමින් වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ ජීවිත අවදානමක තබා තමන් කටයුතු නොකරන බවයි.

‘වර්ජනය කරද්දීත් හදිසි සේවා ප්‍රතිකාර අපි සිදු කරනවා. කිසිම වෙලාවක ජීවිත අවදානමකට ලක් කරන්නේ නැහැ. ජනතා මුදලින් ඉගෙන ගෙන රටට උපරිම දායකත්වයක් දෙන පිරිස තමයි වෛද්‍යවරු කියන්නේ. එහෙම ඉගෙන ගත්තු වෙනත් විද්වතුන් විශාල ප්‍රමාණයක් රට හැර යනවා. වෛද්‍යවරු පහළොස්දාහකට වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ ඉන්නවා.’ ඔහු පැවසීය.

සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.

තවත් රස්සාවක්

වෛද්‍ය වෘත්තීය තවත් රස්සාවක් බව පිළිගන්නා නමුත් රැකියා ස්ථානයට වාර්තා කිරීමේදී සහ පිටව යාමේදී පොතක අත්සන් තැබීමක් සිදු කිරීමට අකමැති වන්නේ මන්දැයි බීබීසීය මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

‘කිසිම රටක වෛද්‍යවරු අත්සන් පොතක් භාවිතා කරන්නේ නැහැ. බොහෝ විට තියෙන්නේ රාජකාරි දින පොතක් පවත්වා ගෙන යාම.’ වෛද්‍ය නලින්ද හේරත් පවසයි.

රාජකාරි වේලාව තුළ මුදල් සරි කිරීම සඳහා පෞද්ගලික රෝහල්වලට යාමේ අවශ්‍යතාව මත ඊට එරෙහි වී ඇති බවට පවතින චෝදනාව ඔහු තරයේ ප්‍රතික්ෂේප කර සිටියේය.

‘මස් රාත්තල’

එක වරම ‘මස් රාත්තල’ ඉල්ලා වර්ජනයකට යාමට පෙළඹීම තුළ නව රජය අපහසුතාවකට පත් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ එවැනි යටි අරමුණක් මේ තුළ නොමැති බවයි.

‘අපි කිසිම රජයක් බලයට පත් කරන්න මහන්සි වෙන්නෙත් නැහැ. අපි කිසිම රජයක් බලයෙන් පහ කරන්න මහන්සි වෙන්නෙත් නැහැ.’ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් ප්‍රකාශ කළේය.