කුමාර් ගුණරත්නම් පෙත්සම ඉවතට

Image copyright Frontline Socialist Party

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් විසා නීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින් ඔහු මෙරටින් පිටුවහල් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරයි.

කුමාර් ගුණරත්නම් පිටුවහල් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප කරමිනුයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව මෙම නියෝගය කළේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී නුවන් බෝපගේ කියා සිටියේ තමන් ඉදිරිපත් කළ පුළුල් කරුණු විමසුම පසෙකලා අධිකරණය සීමිත අර්ථකතනයක පිහිටා මෙම තීන්දුව ලබා දුන් බවයි.

ව්‍යාජ නාමයක්

අදාළ පෙත්සම අද කඳවු අවස්ථාවේදී කරුණු දැක්වූ රජයේ නීතිවේදියා කියා සිටියේ ඒ.එම්.දයාලාල් ලෙස ව්‍යාජ නමකින් ශ්‍රී ලංකාවෙන් මීට පෙර පිටව ගිය කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියාවේ දී නොයෙල් මුදලිගේ නමින් එරට පුරවැසිභාවය ලබා ගෙන ඇති බවයි.

වීසා ලබා ගැනීමේදී පුද්ගලික සංචාරයකට යැයි පවසමින් මෙරටට පැමිණි කුමාර් ගුණරත්නම් දේශපාලන කටයුතුවල නිරත වීම තුලින් විසා නීති උල්ලංඝනය කර ඇති බවයි රජයේ නීතිවේදියා චෝදනා කළේ.

ජනවාරි මස 31 වනදායින් පසුව ඔහු නීති විරෝධී ආකාරයට ශ්‍රී ලංකාවේ රැඳී සිටින නිසා ඔහු පිටුවහල් කිරීමට ආගමන සහ විගමන පාලකවරයාට බලය ලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

රජය ඉදිරිපත් කළ තර්කය පිළිගත් අධිකරණය පෙත්සම විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කරන ලදි.

එහෙත් කුමාර් ගුණරත්නම්ගේ මෑණියන් වන රාජමනි ගුණරත්නම් කියා සිටියේ සිය පුත්‍රයාට ශ්‍රී ලංකාව තුල වාසය කිරීමට ඉඩ දෙන මෙන් රජයෙන් ආයාචනය කරන බවයි.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව කියා සිටියේ වත්මන් රජය ද පසුගිය රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් සිටින බවයි.

අදාළ පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස ආගමන සහ විගමන පාලක ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර