ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සන්ඩේ ලීඩර් කතුවරිය ඉල්ලා අස් වෙයි

සන්ඩේ ලීඩර් පුවත් පතේ පල කරන ලද ලිපි කිහිපයක් සම්බන්ධයෙන් කළමනාකරණය සමඟ පැවති මත භේද මුල් කොට ගෙන පුවත් පතේ කතෘ සකුන්තලා පෙරේරා සිය තනතුරෙන් ඉල්ලා අස් විය.

නිදහස් මාධ්‍ය සංස්කෘතියක් තුළ පුවත් පතේ අදහස් පල කිරීමට ඇති අයිතියට බාධා කිරීම් සිදුවීම නිසා තවදුරටත් තම රැකියාව කිරීමට නොහැකි තත්වයක් උදාවූ බවයි ඇය පැවසුවේ.

තමන් අස්වීමට හේතු දක්වා ලිපියක් බාර දුන් බවත් එය සන්ඩේ ලීඩර් කළමනාකරණය විසින් බාර ගෙන ඇති බවත් ඇය පැවසුවාය.

දූෂණ හා වංචා

පසුගිය රජය යටතේ සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන බවත් ඒවා සාමාන්‍යයෙන් සිදු කෙරෙන ආකාරයට පුවත් පතේ පළ කළ බවයි ඇය පැවසුවේ.

හිටපු රජයේ උසස් නිලධාරීන් සම්බන්ධයෙන් පළවූ වාර්තා මුල් කර ගෙන ඔවුන්ගෙන් කළමනාකරණයට බලපෑම් එල්ල වන බව තමන්ට දැන්වූ බවත් එවැනි පුවත් පළ නොකරන ලෙස කළමනාකරණය ඉල්ලා සිටි බවත් ඇය පවසන්නීය.

පසුගිය රජය යටතේ සියලු මාධ්‍යවේදීන් එක්තරා ආකාරයකට ස්වයං වාරණයක් පවත්වා ගනිමින් වාර්තාකරණයේ නිරත වූ බවත් ඊට හේතු කවරේද යන්න සියලු දෙනා දන්නා බවත් ඇය සඳහන් කරන්නීය.

මාධ්‍ය කලාව

එහෙත් ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු එම ජනාධිපතිවරනයේදී දුන් පොරොන්දු අනුව මාධ්‍ය කලාව සඳහා හොඳ වාතාවරණයක් උදාවූ බවත් එම අලුත් තත්වය තුලත් කලින් මෙන් පීඩනයක් එල්ලවන්නේ නම් ඒ සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වූ බවයි සන්ඩේ ලීඩර් පුවත් පතේ කතුවරිය සකුන්තලා පෙරේරා පැවසුවේ.

“මගේ රාජකාරිය මගේ රීඩස්ල දැනුවත් කරන එක නම්, මට ඒක කිරීමේදී ඔය විදිහට යම්කිසි ප්‍රශනයක් එනව නම්, මට එක කරන්න බැරි තත්වයක් උදාවෙනව නම් මට එක ගැන තීරණයක් ගත යුතුව තිබුණා. ඉතින් ඒ තීරණය තමයි මම ගත්තේ,”ඇය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට පුවත්පත් කළමනාකරණය සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත.