ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සාක්ෂිකරුවන් සහ වින්දිතයන්ට නීතියේ රැකවරණය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පෙබරවාරි 19 වෙනි දින සම්මත කරන ලද සාක්ෂිකරුවන් සහ වින්දිතයන්ට රැකවරණ සැලසීමේ පනත මානව හිමිකම් ක්‍රියාධරයන් ගේ බලවත් ප්‍රසාදයට ලක් වෙයි.

අදාළ පනත ප්‍රමාද වී හෝ සම්මත කිරීම මගින් සාක්ෂිකරුවන්ට හෝ වින්දිතයන්ට රැකවරණ සැලසෙනු ඇතැයි බලාපොරොත්තු තබන බවයි ඔවුන් පවසන්නේ.

බීබීසී සංදේශය සමඟ නව පනත සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිවේදීන්ගේ එකමුතුවේ පුරෝගාමියකු වන නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සඳහන් කළේ අවශ්‍ය රැකවරණ නොලද හෙයින් පසුගිය අවධියේ ඇතැම් පරීක්ෂණ වල සාක්ෂිකරුවන්ට විදේශගත වීමට පවා සිදු වූ බවයි.

‘මේ පනත අලුත් එකක් නොවෙයි. ත්‍රිකුණාමලයේ ශිෂ්‍ය ඝාතන සහ මුත්තුර් ස්වේච්ඡා සේවකයන් මර දමනු ලැබීම ඇතුළු සිද්ධීන් සඳහා කොමිසන් සභා තුනක් පත් කරන ලද අවස්ථාවෙයි මේ පනත ඉදිරිපත් වුනේ. නමුත් ඒ විභාගවල දී සාක්ෂි දීමට සිටි පුද්ගලයන් ඔවුන්ගේ පණ බේරා ගැනීමට රටින් පළා ගියා’ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පවසයි.

කෙසේ වුවද, ප්‍රමාද වී හෝ පනත සම්මත කරනු ලැබීම යහපත් පියවරක් වන බවයි නීතිවේදියා කියා සිටින්නේ.

විපක්ෂයේත් සහයෝගය

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුන මොහොතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය සහිතවයි එය සම්මත කෙරුණේ.

විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ ඇතැම් මන්ත්‍රීවරු ඔවුන්ගේ පාලන සමය තුළ එම පියවර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කළහ.

නව නීතිය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ කියා සිටියේ මෙවැනි නීතියක් සම්පාදනය කරන මෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් එල්ල වෙමින් තිබුණ බවයි.

‘ඉන්දියාවේ විශ්‍රාමික අගවිනිසුරු භගවතී ගේ ප්‍රධානත්වයෙන් පැමිණි නිරීක්ෂක කණ්ඩායමක් කියා තිබුණේ සාක්ෂිකරුවන්ගේ සහ වින්දිතයන්ගේ ආරක්ෂාව සහතික කිරීමෙන් තොරව නිරීක්ෂණ කොමිසන් සභා පත් කිරීමේ අරුතක් නොමැති බවයි’

නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පෙන්වා දෙයි.

නව පනත නීතිගත වීමත් සමඟ එය හරිහැටි ක්‍රියාවට නංවා ලීමේ වැඩ පිළිවෙලක් පෙරට ගියොත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ජාත්‍යන්තර මට්ටමින් නංවා ලීමට හේතු වන බවයි මානව හිමිකම් ක්‍රියාධර නීතිවේදියා වැඩි දුරටත් සඳහන් කළේ.