ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උතුරේ ඉඩම් ලබාදෙන්න 'කඳවුරු ඉවත් කළ යුතු නෑ'

ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන සිටින උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් යළි පවරා දීම පිණිස උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ආරක්ෂක කටයුතු භාර රාජ්‍ය ඇමතිවරයා පවසයි.

"ඇත්තෙන්ම කඳවුරු ඉවත් කරන්න අවශ්‍ය නෑ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න," ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කළේ බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

එබැවින් උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකිරීම සිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව අමාත්‍යවරයා යළිත් වරක් අවධාරණය කළේය.

හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඇතැම් ඉඩම් යළි භාරදිය හැකි බව මෑතදී උතුරේ සංචාරය කළ අවස්ථාවේ හමුදා නිලධාරීන් තමන් සමඟ පැවසූ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කියා සිටියේය.

අලුත් ආණ්ඩුව යළිත් වරක් ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු විවේචකයන් එල්ල කරන චෝදනාව අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි.

යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ පිළිබඳව විධිමත් දේශීය පරීක්ෂණයක් පවත්වන බවද රාජ්‍ය අමාත්‍යවරයා යළිත් වරක් සඳහන් කළේය.

"විධිමත් දේශීය පරීක්ෂණයක් කළොත් අපිට ඔය පිටරටවල තියෙන ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන් වෙයි."