බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරනවා - ටීඑන්ඒ

සිය පක්ෂය බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සිංහල සංවිධාන කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සමක් අද, සිකුරාදා කැඳවු අවස්ථාවේදී එම පක්ෂයේ නීතිවේදීහු මේ බව දැනුම් දී සිටියහ.

පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල බෙදුම්වාදී ආකල්ප අඩංගුව තිබීම නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ඇතුළු සිංහල සංවිධාන කිහිපයක් එම පෙත්සම ඉදිරිපත් කොට තිබිණ.

නොබෙදුණු එක්සත් ශ්‍රී ලංකාවක් තමන් අපේක්ෂා කරන බවයි දෙමළ ජාතික සන්ධානය අධිකරණයට දැනුම් දී සිටියේ.

'පිළිගන්න බෑ'

තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල බලය බෙදා හැරිම පිළිබඳ සංකල්ප අන්තර්ගත වන බව සඳහන් කළ දෙමළ ජාතික සන්ධානයේ නීතිවේදීහු බලය බෙදීම යනු රට බෙදීමක් නොවන බව ප්‍රකාශ කළහ.

දිවුරුම් ප්‍රකාශයක් මගින් තමන් කරන මෙම ප්‍රකාශය පිළිගෙන නඩුව අවසන් කිරීමට හැකියාවක් පවතින බවද දෙමළ ජාතික සන්ධාන පාර්ශවයේ නීතිවේදීහු අධිකරණයට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියහ.

එහෙත් පෙත්සම්කාර දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන මෙම ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.

මේ පිළිබඳව විභාගයක් පැවැත්වීම අවශ්‍ය බවයි ඔහු ප්‍රකාශ කලේ.

ඒ අනුව පෙත්සම පිළිබඳ විභාගය ජුලි මස 06 දා සිදු කරන බවට අධිකරණය නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර