ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තහනම් පන්න ක්‍රමයට මසුන් මැරීමට එරෙහි දැඩි නීති

තහනම් පන්න ක්‍රම උපයෝගී කර ගනිමින් මසුන් මැරීමේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා නිලධාරීන්ට උපදෙස් දෙයි.

තහනම් දැල් වලට පැටලී ඉකුත් සතිය තුල පමණක් ඩොල්පින් මසුන් සියයකට අසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව පවසමින් කල්පිටිය අර්ධද්වීපයේ ගම්මාන කීපයක ධීවරයෝ අද, සෙනසුරාදා මුහුදු යාම වර්ජනය කර උද්ඝෝෂණයක නිරතවුහ.

පසුගිය සතියේ කල්පිටිය මුහුදු කළාපයේ දී තහනම් පන්න ක්‍රම ( ලයිලා, සුරුක්කු ) යොදා ගනිමින් ධීවරයන් පිරිසක් මසුන් මැරීම හා ඊයේ, සිකුරාදා ඩොල්පින් මසුන් පිරිසක් බෙරා ගැනීමට යාමේදී කල්පිටිය කන්දකුලිය ග්‍රාමයේ ධීවරයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කරමින් මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.

නියෝග මාලාව

ධීවර සහ ජලජ සම්පත් පණත යටතේ බලාත්මක වන නියෝග මාලාවන්ට අනුව තහනම් කරන ලද ධීවර ආම්පන්න සහ ඩයිනමයිට් යොදා මසුන් මැරීම සිදු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නඩු පැවරිය යුතු අතර ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වන බවයි ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍යංශය පැවසුවේ.

එසේ වූවද තහනම් පන්න යොදා ගනිමින් මසුන් මැරීම තවදුරටත් සිදු වන බවට ධිවර අමාත්‍යවරයා වෙත පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව නීති විරෝධී පන්න ක්‍රම උපයෝගී කරගන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කර නඩු පවරන ලෙසත් අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අදාළ උපදෙස්

ඒ අනුව අද, සෙනසුරාදා දිනයේම මීට අදාළ උපදෙස් සෑම දිස්ත්‍රික්කයකම ධීවර සහකාර අධ්‍යක්ෂවරුන් මඟින් ධිවර පරීක්ෂකවරුන් වෙත දැනුම් දුන් බවයි ධිවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද පෙරවරුවේ කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගය කුරීඤඥම් පිටිය මංසන්ධියෙන් අවහිර කල ධීවරයන් පැය එකහමාරකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් ගමනා ගමනයට ද බාධා සිදු විය.

කල්පිටිය පොලිසියේ හා කල්පිටිය කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානාධිපති පූජ්‍ය බැදීවැව දියසේන හිමියන් පැමිණ උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කර ලබන සදුදා දිනයේ බලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමේ පොරොන්දුව පරිදි උද්ඝෝෂකයන් විසිර ගිය බව අප වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පැවසුවේය.