ශ්‍රීලනිපයට අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක්

Image caption ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප බලය ලබා ගැනීමෙන් අනතුරුව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය, පළාත් සභාවල සියලු මැති ඇමතිවරුන් මෙන්ම සෙසු පලාත් පාලන ආයතන ආදියේ නියෝජිතයන් ඇතුළු සියලු ක්‍රියාකාරිකයන් මුණ ගැසීමට නියමිත බව නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම් ජයන්ත් හිටපු ඇමතිවරයා පවසයි.

ඔහු එම අදහස පළ කළේ මහනුවර දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අද (21) මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ලංකාවේ පවතින බලවත්ම දේශපාලන පක්ෂය වන බව කියා සිටි ජාතික සංවිධායකවරයා ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් පක්ෂය සංවිධානය කිරීම පෙරට ගෙන යන බවත් සඳහන් කළේය.

ජනාධිපති බලතල

දැනට ක්‍රියාත්මක වෙන විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම හෝ ධූරයට අයත් බලතල අඩු කිරීමට සමගාමීව රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය මට්ටමින් පාර්ලිමේන්තුව ස්ථාවර ආයතනයක් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන බවයි සුසිල් ප්‍රේම් ජයන්ත් මන්ත්‍රීවරයා පවසන්නේ.

Image caption ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස් වූ අවස්ථාවක්

පාර්ලිමේන්තුව ස්ථාවර වන මට්ටමින් නව මැතිවරණ ක්‍රමයත් සකස් විය යුතුය යන්න සිය පක්ෂයේ ස්ථාවරය බව ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රිය දර්ශන යාපා හිටපු ඇමතිවරයාත් ඉහත කී සංචාරයට එක්ව සිටි අතර ඔහු කියා සිටියේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය විය යුත්තේ සියලු පක්ෂවල සහභාගිත්වය ඇතිව බවයි.

එය පහසු ඉලක්කයක් නොවන නමුත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සිදු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළේ.