ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලෝක කුසලානය; කළුවිතාරණ ඇසින්

මෙවර ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තුළ දක්නට ලැබෙන මානසික පසු බෑම හැරුණ විට කණ්ඩායමේ ශක්තිය සම්බන්ධයෙන් වෙනත් කිසිදු ප්‍රශ්නයක් නැතැයි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ පවසයි.

1996 ලෝක ශූරතා තරඟාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන රොමේෂ් කළුවිතාරණ පවසන්නේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොව මුල් පෙළට වැටෙන පිතිකරුවන්ගෙන් සහ පන්දු යවන්නන්ගෙන් සමන්විත වෙන බවයි.

‘ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසයේ අඩුවක් පෙනෙනවා. ඒ හැරෙන්න වෙනත් ලොකු ගැට‍ළුවක් නැහැ. අපට හොඳ පිති කරුවන් සහ පන්දු යවන්නන් ඉන්නවා’ කළුවිතාරණ පවසයි.

ලොව පළමු පෙළේ පිති කරුවන් වන කුමාර් සංගක්කාර ,මහේල ජයවර්ධන ඇතුළු ක්‍රීඩකයන් මෙන්ම ලොව පළමු පෙළේ පන්දු යවන්නන් අතරට අයත් වෙන ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත වන බව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු කියා සිටියි.

නවක කණ්ඩායම්

මෙවර ලෝක ශූරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබ සිටින නවක කණ්ඩායම් වුවද හොඳ තත්වයක පසු වෙන බව රොමේෂ් කළුවිතාරණගේ තක්සේරුවයි.

‘මෙවර පෙනෙන ලොකු වෙනසක් තමයි හැම නවක කණ්ඩායමක් පවා හොඳ ක්‍රීඩා තත්වයක පසු වීම. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරඟයේ දී අයර්ලන්තය එම ශක්තිය පෙන්නුම් කළා. පෙර පුහුණු තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වුනා’ යයි පවසන රොමේෂ් කළුවිතාරණ පෙන්වා දෙන්නේ තරඟයක දී කිසිදු කණ්ඩායමක් අඩුවෙන් තක්සේරු නොකළ යුතු බවයි.

මෙවර තරඟාවලියේ ඉදිරි තරඟවල දී ශ්‍රී ලංකාව සුපුරුදු දක්ෂතා මතු කරමින් පෙරට එනු ඇතැයි ඔහු දැඩි විශ්වාසය පළ කරයි.