වාර්තාව ප්‍රමාද කිරීමට එරෙහිව යාපනයේ විරෝධතා

Image caption පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් රැසක් සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්ද උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධ වාර්තාව ප්‍රකාශයට පත්කිරීම මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට එරෙහිව අඟහරුවාදා දහවල් යාපනයේදී විරෝධතාවයක් පැවැත්විණි.

යාපනය විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය සහ විශ්ව විද්‍යාලයීය එකමුතුව සංවිධානය කර තිබුණු මෙම උද්ඝෝෂණයට යාපනයේ ස්වේච්ඡා සංවිධාන ගණනාවක ද සහයෝගය ලැබී තිබුණි.

යුද සමයේදී අතුරුදහන් වූවන් සිහිකරමින් ඔවුන්ගේ ඥාතීහු උද්ඝෝෂණය අතරතුරදී හඬා වැළපුනහ.

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ඒ රාසකුමරන් කියා සිටියේ මානව හිමිකම් මණ්ඩලයේ වාර්තාව ප්‍රකාශයට පත්කිරීම කල් දැමීමට සියලු දෙනාම විරුද්ධ බවයි. එසේ කල් දැමීම තුළින් කිසිවෙකුටත් සාධාරණය ඉටු නොවන වගද ඔහු කියා සිටියේය.

'විනිවිදභාවයක් නෑ'

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රජය තීරණය කොට තිබුණත් කිසිවෙකුත් එයටද එකඟ නොවන බව සඳහන් කළ සභාපතිවරයා, එවැනි පරීක්ෂණයකින් ලැබෙන වාර්තාව කිසිවෙකුටත් පිළිගැනීමට නොහැකි වන්නේ යුද්ධය සඳහා රජය එක් පාර්ශවයක් ලෙස පෙනී සිටි නිසා බවද පැවසීය.

Image caption යුද සමයේදී අතුරුදහන් වූවන් සිහිකරමින් ඔවුන්ගේ ඥාතීහු උද්ඝෝෂණය අතරතුරදී හඬා වැළපුනහ

ශ්‍රී ලංකාව තුළ රජය මැදිහත් වී කෙරෙන අභ්‍යන්තර පරීක්ෂණයක විනිවිදභාවයක් මෙන්ම අපක්ෂපාතී බවක් දක්නට නොලැබෙන බවයි ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ඒ රාසකුමරන් වැඩිදුරටත් කියා සිටියේ.

උද්ඝෝෂණ කරුවන්ගේ විරෝධය ඇතුළත් සංදේශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමේ වගකීම මන්නාරම රදගුරු රායප්පු ජෝසප් හිමිපාණන් වෙත බාර කෙරිණි.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ මානව හිමිකම් මණ්ඩලය මේ අවස්ථාවේදී සියලු දෙනාගේ විශ්වාසය ආරක්ෂා වන අන්දමට කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තේ පසුගිය රජය බැවින් වර්තමාන රජය ඊට බාධාවක් කර ගත යුතු නැතැයිද උන්වහන්සේ කියා සිටියහ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් රැසක් සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්ද උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.