සැකකරුගේ මරණයට පොලීසියේ 6 ක් රිමාන්ඩ්

Image copyright Getty

සුරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් සාජන්වරයකු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙති.

එම පුද්ගලයා පොලිස් පහරදීම් හේතුවෙන් මිය ගිය බවටයි චෝදනා එල්ලවී තිබෙන්නේ.

මත්පැන් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ පසුගිය 19 වැනිදා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුට පහරදුන් බවයි සිද්ධිය දුටුවන් ප්‍රකාශ කළේ.

පසුගිය 19දා පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරු එදින සවස සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තත්ත්වය බරපතළ තත්වයට හැරීම නිසා 22 වැනිදා හම්බන්තොට මහරෝහලට මාරු කර යවා තිබිණ.

ඉන්ද්‍රීයයන්ට හානි

සැකකරු මිය යාමට අදාළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ඊයේ, සඳුදා රාත්‍රී පැවැත්වූ අතර එහිදී තහවුරු වී ඇත්තේ පහරදීම නිසා අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්ට හානි සිදුවීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි.

ඔහු රෝහලේදී මියයාම සම්බන්ධයෙන් සූරියවැව පොලීසියේ නිලධාරීන් හය දෙනා සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ අද අඟහරුවාදා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි හම්බන්තොට ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පැවසුවේ.

සැකකාර පොලිස් නිලධාරීන් හය දෙනා මාර්තු මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කෙරිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර