කටාර් සංක්‍රමණික කම්කරුවන්ගේ ජීවිත 'අනාරක්ෂිතයි'

කම්කරුවන් පහළොවක් පමණ වෙසෙන එක් කාමරයක්
ඡායාරූප ශීර්ෂ වැකිය,

කම්කරුවන් පහළොවක් පමණ වෙසෙන එක් කාමරයක්

අනාරක්ෂිත, සනීපාරක්ෂාවෙන් තොර තත්වයන් යටතේ තව දුරටත් දිවි ගෙවීමට සිදුව ඇති බව කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා ක්‍රීඩාංගණ ඉදි කිරීමේ නියුතු සංක්‍රමණික සේවකයෝ පවසති.

කටාර් රාජ්‍ය විසින් කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවනු ලබන බවට ප්‍රතිඥා දුන්නේ මීට මාස ගණනාවකට පෙරයි.

සිය භාරයේ සිටින කම්කරුවන්ට රටින් පිටවීම වැළැක්විය හැකි පරිදි හාම්පුතුන් වෙත බලය හිමි වී ඇති මතභේදයට තුඩු දුන් සංක්‍රමණික කම්කරු නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බව නම හෙළි කිරීමට අකමැති වූ ශ්‍රමිකයෙක් බීබීසීයට පැවසුවේය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

කටාර් රාජ්‍යයේ සේවය කරන කම්කරුවන් වෙසෙන ගොඩනැගිල්ලක්

‘මට කටාර් රාජ්‍යයෙන් උපන් රට වෙත නැවත යන්න හැකියාවක් නැහැ. මගේ ගමන් බලපත්‍රය මා සමග නැති නිසා මට පිටත් වීමේ වීසා ලබා ගන්න හැකියාවක් නැහැ’ වසර දාහතරක් කටාර් රාජ්‍යයේ දිවි ගෙවන නේපාල ජාතික කම්කරුවෙක් කියා සිටියේය.

දෙදහස් විසි දෙක වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය සඳහා කටාර් රාජ්‍යය ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කිරීමෙන් පසු සංක්‍රමණික සේවකයන් දහස් ගණනක් මරුමුවට පත් වී ඇතයි විශ්වාස කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කටාර් ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.