ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව ආගමික සිද්ධස්ථාන ඉදි කිරීම පිළිබඳ පනතක්

නව ආගමික සිද්ධස්ථාන ඉදි කිරීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජය පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය හා භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර අරලියගහ මැදුරේ පැවති හමුවකදී ඒ බව ප්‍රකාශයට පත් විය.

පිරිවෙන අධ්‍යාපන මණ්ඩලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

භික්ෂූන් වහන්සේලා ඇමතූ අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ ‘දින සියයේ’ වැඩපිළිවෙළ සහ බුද්ධ ශාසනයේ චිරස්තථිය උදෙසා රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

බෞද්ධ ප්‍රකාශන නියාමන පනත ඇතුළු බෞද්ධ කටයුතු හා සම්බන්ධ පනත් කිහිපයක්ම ‘දින සියය’ තුළ සම්මත කර ගැනීමට රජය සුදානම් වන බවත් හමුවේදී ප්‍රකාශයට පත් විය.

නව පනත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුද අපරාධ පරීක්ෂණයක් පවත්වන මට්ටමට කටයුතු සිදු වූයේ හිටපු ජනාධිපතිවරයා 2009 වසරේ දුන් පොරොන්දුවක් නිසා යැයි භික්ෂූන් වහන්සේලා හමුවේ කරුණු දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

කුරුණෑගල, අනුරාධපුර, මහනුවර හා ගාල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සංඝාධිකරණ හතරක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව මේ අතර බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය කියා සිටියේය.

‘අපි දකිනව ගම්පහ, කොළඹ වගේ උසාවිවල ස්වාමීන් වහන්සේලා විවිධ නඩු වලට පෙනී සිටිනවා. නඩත්තු නඩුවලටත් ස්වාමීන් වහන්සේලා පෙනි සිටලා ඒ චීවරයට අපහාස වෙනවා අපි දැකලා තියෙනවා’ අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඉදිරියේදී විශ්‍රාමලත් විනිසුරුවරයකු යටතේ පන්සල තුළ දීම නඩු විභාග කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදන බවයි බුද්ධ ශාසන අමාත්‍යවරයා කියා සිටියේ.

මීට අමතරව සිල්මාතාවන් වෙනුවෙන් නව පනතක් සහ ප්‍රමිතියට අනුව සැකසූ අට පිරිකර ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බවද බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය වැඩිදුරටත් පැවසුවේය.