ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ජාතිවාදයට එරෙහිව' වීදියේ විරෝධය යළිත් හම්බන්තොට

ජාතිවාදයට එරෙහි වී යළිත් වරක් ශ්‍රී ලංකාවේ ජාති ආගම් ගැටුම් ඇවිලවීමේ උත්සාහයට එරෙහි වන මෙන් 'වීදියේ විරෝධය' වීදි නාට්‍ය කණ්ඩායම සාමයට ලැදි ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලීමක් කරයි.

කණ්ඩායමේ නායක කලා ශිල්පී ජයතිලක බණ්ඩාර එම ඉල්ලීම කළේ මීට මාස දෙකකට ඉහතදී තමන්ට ප්‍රහාරයක් එල්ල වූ හම්බන්තොට නගරයේදී 'දෝතට ගනිමු' සංස්කෘතික සංවාදයට එක්වෙමින්.

"ඔබ බෞද්ධයෙක් වියහැකියි. කිතුණුවෙක් වියහැකියි. හින්දු ආගමිකයෙක්, ඉස්ලාම් ආගමිකයෙක් විය හැකියි. නමුත් ඔබ තුළ උතුරා යන මනුෂ්‍යත්වයක් ඇති බව අපි විශ්වාස කරනවා," ඔහු පැවසීය.

'අශීලාචාරකමට විරුද්ධව'

සති අන්තයේදී පැවැත්වුණු සංස්කෘතික සංවාදයේදී ගායක ජයතිලක බණ්ඩාර කියා සිටියේ තමන් ආමන්ත්‍රණය කරන්නේ සියලු ශ්‍රී ලංකාවාසීන් තුල වෙසෙන 'උතුම් දෙවියාට' බවයි.

Image caption ජයතිලක බණ්ඩාර හම්බන්තොටදී ප්‍රහාරයට ලක් වූ අවස්ථාවේ

"අප අමතන්නට උත්සහ කරන්නේ ඔබතුල ජීවත්වන ඒ උතුම් මිනිසාටයි. ඒ උතුම් දෙවියාට සියලුම මිනිසුන්ට සියලු දේ අයත් විය යුතුයි. මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන්ට අයිති බව නැවත නැවතත් ප්‍රකාශ කරන්නටයි අපි ඔබේ පුරවරයට පැමිණියේ."

එදා හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු එදා අමෝරා ගත් ගිනි අවියට පහරක් දී සිය ජීවිතය බේරාගත් උප නගාරධිපතිවරයාට සිය ගෞරවය පුදන බවත් ඔහු කියා සිටියේය.

"අපි ආවේ අමනුෂ්‍යකමට එරෙහිව ගීත ගායනා කරන්නට. අපි ආවේ අශීලාචාරකමට විරුද්ධව ගීත ගායනා කරන්නට. නමුත් ශීලාචාරකමට විරුද්ධ සත්‍යයට විරුද්ධ එරාජ් අපට පහර දුන්නා."

සංස්කෘතික සංවාදයේදී අදහස් දැක්වූ උප නගාරාධිපති අයුබ් ඛාන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ පරිපාලනය පරාජයට පත්වනු ඇතැයි තමන් පවා විශ්වාස නොකළ බවයි.