ජාතික ආණ්‌ඩු සංකල්පයට එකඟ නෑ - දිනේෂ්

Image caption ජාතික නිදහස් පෙරමුණ, මහජන ‍එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසින් නුගේගොඩ රැළිය සංවිධානය කර තිබිණ

ජාතික ආණ්‌ඩු සංකල්පයට තමන් එකඟ නැතැයි මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරයි.

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක එම්. එම්. මුසම්මිල් ද සහභාගී වූ මාධ්‍ය හමුවකදීයි ඔහු එසේ පැවසුවේ.

ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු කණ්ඩායම පැවසුවේ රජය මැතිවරණයක් සඳහා යායුතු බවයි.

මෙය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් තබා ගැනීමේ උත්සාහයක් පමණක් බවත් එවැනි ප්‍රයත්නයකට තම සහය නොලැබෙන බවත් ඔවුහු පැවසුහ.

ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව පවසමින් සම්පූර්ණයෙන්ම කරන්නට උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂය බලයේ තබා ගැනීම බවයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ.

ප්‍රකාශයට පත් කළ පරිදි අප්‍රේල් 23 වැනිදා මැතිවරණයක් කැඳවන ලෙස තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස බලයට පත් කළ යුතු බවට කෙරෙන ඉල්ලීම ඉකුත්දා නුගේගොඩ පැවතී රැළියේදී ජනතාවගෙන් ප්‍රකාශ වු බවත් තමන් ඒ සඳහා ක්‍රියා කරන බවත් මාධ්‍ය හමුවේදී ඔවුහු සඳහන් කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර