ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'වරාය නගරයේ බලපෑම මුළු රටටමයි'- පරිසර සංවිධාන

ජනාධිපතිවරණ සමයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වරාය නගර ව්‍යාපෘතිය නතර කරන බවට පොරොන්දු වූ නමුත් දැන් එසේ නතර කිරීමක් සිදු නොවන බව පෙනීයන්නේ යැයි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ පරිසර සංවිධාන කිහිපයක් පෙන්වා දෙයි.

එසේ මෙම ව්‍යාපෘතිය නවත්වන බව පොරොන්දු වුයේ මෙම ව්‍යාපෘතියේ ඇති හානිකර තත්වයන් දැනගෙන වියහැකි බැවින් වුවත් දැන් එසේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට මැළි වී තිබීම ගැටලුවක් බවයි ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරයේ ෂෙරාඩ් ජයවර්ධන පියතුමා පෙන්වා දෙන්නේ.

'සදාචාරය මොකක්ද ?'

‘මේක නතර කරනවා කියල වේදිකාවේ කියන්න ඒ ගොල්ලන්ට යම් පදනමක් තියෙන්න ඇති, ඒ ගොල්ලෝ යම් ප්‍රමාණයකට මේවායේ තොරතුරු දැනගෙන ඉන්න ඇති. මේකේ හානිකර තත්වයන් දැන ගෙන ඉන්න ඇති. ඒ නිසයි කිව්වේ මේක නතර කරනවා කියල. නමුත් එහෙම නතර කරන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා අපිට ප්‍රශ්න කරන්න වෙනව මෙවැනි දේශපාලනඥයින්ගේ සදාචාරය මොකක්ද කියල’ යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර පැවසුවේ මෙම ව්‍යාපෘතියේ දී අපේ රටට හිමිකම පවතින හෙක්ටෙයාර 62 ක භුමි ප්‍රමාණයෙනුත් කොටසක් ඉන්දියාවට ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම ඉන්දීය සංචාරය අතරතුර කටයුතු කර ඇති බවයි.

ඉන්දියාවටත් ඉඩම්

‘මේ හෙක්ටෙයාර 233 කොටස් දෙකකට බෙදල තියනව. 170 ක් තියනව විකිණිය හැකි ඉඩම් කියල. තවත් හෙක්ටෙයාර 63ක් තියනව පොදු පහසුකම් සඳහා සංවර්ධනය කරන ඉඩම් කියල. මේ 170 න් තමයි 108 ක ඉඩම් ප්‍රමාණය චීනයට ලබා දෙන්නෙ. එතනින් 20 ක් සින්නක්කරත් 88 ක් 99 අවුරුදු බදු ක්‍රමයටත් කියල. ඉතිරි හෙටෙයාර 62 තමයි අපේ රටට අයිතිය තියෙන්නෙ. හැබැයි එකත් අපේ රටට මේ වෙනකොට අහිමි වෙලා තියනව’ යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

සමස්ත ලංකා ජනතා ධීවර වෘත්තීය සමිති ව්‍යාපාරයේ අරුණ රොෂාන්ත පැවසුවේ මේ ව්‍යාපෘතියට වැලි අදින නැව් වලින් පමණක් ධීවර ආම්පන්න වලට ලක්ෂ 40 ක පමණ අලාභයක් සිදුවී ඇති බවයි.

‘කළුගල් කියුබ් කෝටි 12 ක් නම් වැලි කොච්චර ඕනද කියල අපිට හිතා ගන්න පුළුවන්’ යනුවෙන් ඔහු තම විරෝධය පළකරමින් පැවසීය..