කේපී ගැන පරීක්ෂණ ආරම්භ කරනවා -නීතිපති

Image copyright Interpol India

කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් හෙවත් කේපී සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන බව නීතිපතිවරයා ප්‍රථම වතාවට අභියාචනාධිකරණය හමුවේ පවසයි.

කුමරන් පද්මනාදන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිවේදියා මේ බව දැනුම් දුන් බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදි සුනිල් වටගල කියා සිටියේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිවේදියා කියා සිටියේ කුමරන් පද්මනාදන්ට එරෙහි චෝදනා සිද්ධීන් 193ක් පමණ පෙත්සමෙහි දක්වා ඇති බවයි.

මාස හයක්

ඒවා දේශීය මෙන්ම ජාත්‍යන්තර අපරාධවලට සම්බන්ධ බැවින් අදාළ විමර්ශන මෙහෙයවීම සඳහා අවම වශයෙන් මාස හයක කාලයක් වත් ලබා දෙන ලෙස රජයේ නීතිවේදියා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය පෙත්සම නැවත අගෝස්තු මස 31 වනදා කැඳවීමට නියම කළ අතර එදිනට මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තාකරණ මෙන් නීතිපතිවරයාට නියම කළේය.

Image copyright www.interpol.int

කුමරන් පද්මනාදන් අත් අඩංගුවට ගත් බව හිටපු රාජපක්ෂ රජය ප්‍රකාශ කළ ද ඔහු මේ දක්වා අධිකරණයකට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කර නොමැති බවයි පෙත්සම්කාර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කලේ.

මේ හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් පොලිස්පතිවරයාට නියෝගයක් පනවන මෙන් ද ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයෙන් ඉල්ලා සිටියි.