ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රිශාන්ත ජයකොඩි යළි ශ්‍රී ලංකාවට

තමාට රට හැර දමා යාමට සිදු වුනේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ගෝලබාලයන් ගේ තර්ජන හමුවේ යයි හිටපු පොලිස් ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි පවසයි.

කලක් විදේශගත ව සිට යළි සියරට පැමිණීමෙන් අනතුරුව පවත්වන ලද මාධ්‍ය හමුවකදීයි ඔහු එම ප්‍රකාශය කළේ.

‘වසරකුත් මාස හතකට පසුව මම අද (26) යළි ශ්‍රී ලංකාවට ආවා. අද රට තුළ නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය, කතා කිරීමේ නිදහස, රැකියාවක් කිරීමේ නිදහස ආදිය තියෙනවා. එම විශ්වාසය නිසයි මම ආපසු ආවේ’ හිටපු පොලිස් ප්‍රකාශකයා කියා සිටියේය.

තමා 2013 වසරේ ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රකාශකයා හැටියට කටයුතු කරද්දී පාලකයන්ට අවශ්‍ය ආකාරයට ප්‍රකාශ නිකුත් කරන මෙන් ඉහලින් නියෝග ලැබුණ බවත් ඊට එකඟ නොවූයෙන් තමා විවිධ තැන් වලට මාරු කරන්නට පටන් ගත් බවත් ප්‍රිශාන්ත ජයකොඩි පවසයි.

අන්තිමේ දී මරණ තර්ජන හමුවේ ඉන් බේරීමට සිය පවුලින් රැකියාවෙන් සහ රටින් වෙන්ව සියල්ල අත්හැර දමා විදේශ ගත වූ බවයි ඔහු පවසන්නේ.

මරණය ලුහු බැඳීම

විදේශ ගත වීත් සිය තර්ජන වල නිමක් නොවූ බව පවසන හිටපු පොලිස් ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි ඔස්ට්‍රේලියාවේදීත් තමාට ජීවිතාරක්ෂාව සඳහා තැනින් තැනට පළා යාමට සිදු වූ බවයි පවසන්නේ.

අන්තිමේ දී වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ තත්වයේ වෙනසක් සිදු වූ නිසා සියරට පැමිණි බව පවසන හිටපු පොලිස් ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ යළි කිසිදාක රට හැර යාමේ උවමනාවක් නොමැති බවයි.

හිටපු පොලිස් ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට බීබීසිය ගත් උත්සාහය අසාර්ථක විය.