ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීන ආයෝජනවලට ශ්‍රී ලංකාව විවෘතයි - මංගල

ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ම චීන ආයෝජන සඳහා විවෘත බවත් සියරට චීන ආයෝජන වලට ආරක්‍ෂිත භූමියක් වන බවත් විදේශ ඇමති මංගල සමරවීර පවසයි.

චීනයේ දෙදින සංචාරයක නිරත වෙමින් සිටින ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා ‘බේජින්’ අගනුවර දී එම ප්‍රකාශය කළේ චීන අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා හමුව පවත්වන ලද ද්විපාර්ශ්වීය සාකච්ඡා වලින් අනතුරුව.

එම සාකච්ඡා පිළිබඳව මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා, වරාය නගරය පිලිබඳ කාරණය තමා විසින් චීන බලධාරීන් සමඟ කෙලින් ම සාකච්ඡාවට නොගත් අතර, ශ්‍රී ලංකා ආණ්ඩුව සැලකිල්ලට ගනු ලබන්නේ චීන ව්‍යාපෘතීන් පිළිබඳව පමණක් නොවන බවයි සඳහන් කළේ.

‘ශ්‍රී ලංකාව චීනයත් සමඟ සාකච්ඡා කරන තෙක් කිසිදු චීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ නැහැ. චීන ආයෝජන සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ලැබීමට පෙර ශ්‍රී ලංකාව චීනයත් සමඟ සාකච්ඡා කර අදහස් හුවමාරු කර ගන්නවා’ විදේශ ඇමති මංගල සමරවීර පවසයි.

සම ආයෝජන අවස්ථා

‘සියලු ආයෝජකයන්ට පොදු අවස්ථා සහතික කිරීම ශ්‍රී ලංකාවේ උත්සාහයයි. නීතියේ ආධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනය සහ විවෘත පාරදෘශ්‍යභාවය මත පදනම් වූ ආයෝජන දිරි ගැන්වීම ශ්‍රී ලංකාවේ සැලැස්මයි’ මංගල සමරවීර කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, අනාගතයේ දී සියලු යෝජනා සහමුලින්ම යෝග්‍යතාව අනුව සැලකිල්ලට ගනු ලබන බවයි.

ඉහත කී මාධ්‍ය හමුවේ දී චීන විදේශ ඇමති වැන්ග් යි කියා සිටියේ ශ්‍රී ලංකාවේ යහපත් හවුල් කරුවකු මට්ටමින් දිගටම කටයුතු කිරීමට චීනය මනාප බවයි.

‘ ශ්‍රී ලංකාවේ විශ්වසනීය ආයෝජන සහකරුවකු මට්ටමින් දිගටම කටයුතු කිරීම චීනයේ කැමැත්තයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දිගටම උපරිම ආධාරය සැපයීමේ පිළිවෙත දිගටම පෙරට ගෙන යාම චීනයේ අභිලාෂයයි’ විදේශ ඇමති වැන්ග් යි ප්‍රකාශ කළේය.

මංගල සමරවීර විදේශ ඇමතිවරයාගේ සංචාරය සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන මාර්තු මාසයේ අවසන් භාගයේ චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබියදී.