ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කඩොලාන රක්ෂිතයේ ලුණු ලේවායක්?

මුන්දලම, මංගල එළියේ කට්ටකඩුව කඩොලාන රක්ෂිතය එළි පෙහෙළි කර ලුණු ලේවායක් ඉදි කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීහු හා පරිසර සංවිධාන නියෝජිතයෝ උද්ඝෝෂණයක නිරත වුහ.

කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගය මංගල එළිය මං සන්ධියෙන් අවහිර කළ උද්ඝෝෂකයන් කියා සිටියේ බලධාරියෙකු පැමිණෙන තෙක් මාර්ගයෙන් ඉවත් නොවන බවයි.

පසුගිය රජය සමයේ ද මේ ස්ථානයේ ලුණු ලේවායක් ඉදි කිරීමට ක්‍රියා කළ අතර පසුව ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ එය නතර කර දැමීමට එවකට පැවති රජය ක්‍රියා කළ බවයි ප්‍රදේශවාසීන් වැඩි දුරට‍ත් කියා සිටියේ.

උද්ඝෝෂකයන් අතරට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ වයඹ පළාත් සභා මන්ත්‍රී සාන්ත සිසිර කුමාර ප්‍රකාශ කළේ තම රජය යටතේ මේ නීති විරෝධී ක්‍රියාව නැවත ආරම්භ කිරීම තමන්ට අදහා ගත නොහැකි බවයි.

මෙම නීති විරෝධී ක්‍රියාව නවත්වන ලෙස අදාල ව්‍යාපාරිකයාට ලිඛිතව දැනුම් දී ඇති බව මුන්දලම ප්‍රාදේශීය ලේකම් ඒ.එම්.සි.එම්. ප්‍රේමසිරි පැවසීය.

උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම පරිදි අදාල ප්‍රදේශය පරික්ෂා කිරීම සඳහා පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් පියවර ගත් අතර මේ අවස්ථාවේ දී බැකෝ යන්ත්‍ර තුනක් එහි නවතා තිබූ බව ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න දැනුම් දුන්නේය.

මෙම යන්ත්‍ර භාවිතා කරමින් කඩොලාන විනාශ කර ටැංකි ඉදි කර තිබූ අයුරු දකින්න ලැබුණු බවද ඔහු පවසයි.

ප්‍රාදේශීය ලේකම්වරයා මෙම කඩොලාන රක්ෂිතයේ සියලු අනවසර ක්‍රියා නවත්වන ලෙස නියෝග කර තිබියදීත් බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් නීති විරෝධී ලෙස කටයුතු කළ පිරිස අත්අඩංගුවට නොගැනීම පිළිබදව උද්ඝෝෂකයෝ පොලිසියට සිය අප්‍රසාදය පළ කළෝය.