පුදුකුඩියිරුප්පු සහ මුහුදුබදපත්තු ඡන්ද විමසීම් කල් යයි

Image copyright AFP

හෙට දින පැවැත්වීමට නියමිත පුදුකුඩියිරුප්පු සහ මුහුදුබදපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම් වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කෙරිණ.

අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මාර්තු මස 27 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ තහනම් නියෝගය නිකුත් කරන ලදී.

පෙත්සම්කාර පාර්ශවය පවසන්නේ අදාළ මැතිවරණය 2011 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය උපයෝගී කර ගෙන පවත්වන බවයි.

මේ හේතුවෙන් අලුතින් ලියාපදිංචි වූ විශාල පිරිසකට ඡන්ද හිමිකම් අහිමි වන බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදි හිජාස් හිස්බුල්ලා පැවසුවේ.

පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කල කරුණු පිළිගත් අධිකරණය අදාළ පෙත්සම පිළිබඳ පූර්ණ විභාගයක් පැවැත්විය යුතු බවට තීන්දු කළේය.

ඒ අනුව පෙත්සම් විභාගය මාර්තු මස 27 වැනිදා පැවැත්වීමට තීරණය කල අධිකරණය විසින් එතෙක් ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

සශි විරවංශට ඇප

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිඳ සශි විරවංශ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෝසමක් මාර්ගයෙන් විරවංශ පාර්ශවය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාරිය අසනීප තත්වයෙන් පෙළෙන බැවින් ඇය ඇප මත මුදා හරින ලෙසයි.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසයි රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව සැකකාරිය ඇප මත මුදා හල අධිකරණය සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස තරයේ අවවාද කළේය.

වැඩිදුර නඩු විභාගය මැයි මස 15 වැනිදා දක්වා තෙක් කල් තැබිණ.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙන්ම ඔහුගේ පාර්ශ්වයේ නීතිවේදීන්ද මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් වැළකී සිටීම කැපී පෙනෙන සිද්ධියක් විය.