ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආනවිළුන්දාවට රතුපස්වලක් එපා

ආරච්චිකට්ටුව, ආනවිළුන්දාව ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින සෙවිලි තහඩු කර්මාන්ත ශාලාවකට විරෝධය පල කරමින් දියත් කෙරුණ උද්ඝෝෂණයක් හේතුවෙන් අද (28) පෙරවරුවේ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකකට අසන්න කාලයක් ඇන හිට තිබුණි.

උද්ඝෝෂකයන් මර්දනය කිරීම සඳහා කැරලි මර්දන පොලිස් නිලධාරීන් කැඳවා තිබුනත් එය අසාර්ථක වූ බව මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න ප්‍රකාශ කරයි.

ආනවිළුන්දාව ‘රැම්සා’ අභය භූමිය ආසන්නයේ කර්මාන්ත ශාලාව ඉදි කෙරෙමින් ඇති අතර කර්මාන්ත ශාලාව සඳහා දිනකට ජල ලීටර් එක් ලක්ෂ පනස් දහසක් පමණ අවශ්‍ය වන බව ප්‍රකාශ කළ ආනවිලුන්දන්පත්තු පරිසර සංවිධානයේ කැඳවුම්කරු අජිත් ගිහාන්, මෙතරම් ජල ප්‍රමාණයක් පාවිච්චිය තුලින් සහ ඉවත් කරන විෂ රසායනික හේතුවෙන් ආනවිළුන්දාව අභය භූමියට දැඩි බලපෑම් එල්ල වන අතර ප්‍රදේශයේ උග්‍ර ජල හිගයක්ද ඇති වන බවයි කියා සිටියේ.

භික්ෂු සත්‍යග්‍රහයක්

බලධාරීන්ගෙන් විසඳුමක් ඉල්ලමින් සත්‍යග්‍රහයක් ආරම්භ කළ පුජ්‍ය විල්පොත පේමානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයට සහය පල කරමින් ගම්වැසියන් පිරිසක්ද සත්‍යග්‍රහයට එක් වී සිටියහ.

Image copyright prasad purnimal
Image caption විරෝධතාවය අබියස කැරලි මැඩලීමේ පොලිසිය

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක පි. එන් . ගුණවර්ධන , වයඹ පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයින් පිරිසක් ප්‍රශ්නයට විසදුම් ලබා දීමට පොරොන්දු වුවත් උද්ඝෝ ෂකයන් කියා සිටියේ කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් නතර කොට සාකච්ඡා වලට එකඟ විය යුතු බවයි .

අනතුරුව දේශපාලකයන් පිරිසක් සහ උද්ඝෝෂකයන් කීප දෙනෙකු කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සමග සාකච්ඡා කළ අතර ලබන සඳුදා තෙක් ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට පාලනාධිකාරිය පොරොන්දු වුණි.

එතෙක් විරෝධතා ව්‍යාපාරය නතර කිරීමට උද්ඝෝෂකයන් සහ සත්‍යග්‍රහයේ නිරත වූ මහා සංඝරත්නය එකඟ වී ඇත.