ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උඩරට ගිවිසුම: බ්‍රිතාන්‍ය අගමැතිට සන්නසක්

උඩරට ගිවිසුමට වසර දෙසීයක් පිරීම නිමිති කර ගනිමින් බ්‍රිතාන්‍ය වාසී ශ්‍රී ලාංකිකයෝ ලන්ඩන් නුවරට රැස් වී බ්‍රිතාන්‍ය අගමැතිවරයාට සන්නසක් භාර දෙති.

මෙම සන්නස භාර දීම සඳහා ඔවුන් ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව අබියස සිට අග්‍රාමාත්‍ය නිල නිවස දක්වා පා ගමනේ ගියේ උඩරට නිළමේ ඇඳුමින් සැරසුණු (තුප්පොට්ටිය හැඳි) ශ්‍රී ලාංකිකයෙකු පෙරටු කර ගෙනයි.

ශ්‍රී ලංකාව මුළුමනින් ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගැනීමට දායක වූ උඩරට ගිවිසුම අත්සන් තැබුණේ අදට වසර දෙසීයකට පෙර.

වසර 1815 මාර්තු දෙවැනිදා මහනුවර දළඳා මාලිගාවේ මඟුල් මඩුවට පැමිණි එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සහ පිරිස විසින් ඇහැලේපොළ මහ අදිකාරම් ඇතුළු නිලමේ වරුන් ඉදිරියේ උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කරන ලදී.

සන්නස

එවක් පටන් නිදහස ලබන තුරු ඉංග්‍රීසි පාලනය යටතේ ශ්‍රී ලාංකිකයන්ට සිදු වූ හිරිහැර සහ අකටයුතු කම් පිළිබඳව වත්මන් බ්‍රිතාන්‍ය පාලකයන් දැනුවත් කිරීම සඳහා ඉහත කී සන්නස බ්‍රිතාන්‍ය අගමැතිවරයාට භාර දීමට තීරණය කළ බවයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම බීබීසීයට කියා සිටියේ.

Image caption බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම

‘යටත් විජිත සමයේ දී ලංකාවේ හිටපු ජෝන් ඩොයිලි ගේ සහ හෙන්රි මාෂල් ගේ දිනපොත් කියවා බලද්දී තොරතුරු රාශියක් අප රැස් කර ගත්තා. ඒ තොරතුරු අනුව සිංහල ජාතියට අකටයුතුකම් රාශියක් වී ඇති බව පෙනී යනවා. අපේ නායකයන් ඝාතනය කරල තියෙනවා. ඒ මිය ගිය විරුවන් සිහිපත් කරල ඒ උඩරට ගිවිසුමෙන් ඇති වුන අයහපත් ප්‍රතිඵල ගැන සහ වත්මන් ඉංග්‍රීසි පාලකයන්ගේ මුතුන් මිත්තන් අතින් අපට සිදු වූ වැරදි පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමයි මෙහි අරමුණ.’ ජනක අලහප්පෙරුම පැවසීය.

පැරණි ජාතික ධජය

ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව අබියසට රැස් වූ බ්‍රිතාන්‍ය වාසී ශ්‍රී ලාංකිකයෝ ඉටි පන්දම් දල්වා යටත් විජිත සමයේ පැවති නිදහස් සටන්වලදී මිය ගිය ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කළෝය.

උඩරට ගිවිසුම අත්සන් තබන මොහොතේ මහනුවර මගුල් මඩුවේ තිබුණු පැරණි ජාතික ධජයට සමාන ධජයක් ද මෙම අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ප්‍රදර්ශනය කර තිබුණි.