රහසිගත කඳවුරු නැහැ - රනිල්

Image copyright Getty

නැගෙනහිර පළාත තුළ නාවික හමුදාවට අයත් රහසිගත රැඳවුම් කඳවුරු තවමත් පවත්වා ගෙන යන බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර එවැනි රහසිගත කඳවුරු නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

‘උතුරේ, නැගෙනහිර විශාල මතයක් තියනවා රහස් කඳවුරු ගණනාවක් තියනවා කියලා. අපි කිව්වා එහෙම නාවික හමුදාවේ හෝ කිසිවකුගේ කඳවුරු නැහැ. ඕන තැනක තියනවා කිව්වොත්, ඇවිල්ලා බලන්න කියලා’ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අතුරුදහන් වූවන් පිළිබඳ විස්තර ඇතුළත් ලැයිස්තුව තුළ නම් සඳහන් නොවන පුද්ගලයන් මිය ගොස් ඇතැයි හෝ නැතහොත් රට හැර ගොස් ඇතැයි අනුමාන කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

"ගෝටා බේ"

මේ අතර 2008 දී කොළඹ දී නාවික හමුදාව මගින් පැහැරගත් බව පැවසෙන දෙමළ ජාතික තරුණයින් පස් දෙනකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටා ඇති බව සඳහන් "ගෝටා බේ" නැමති කඳවුරේ සිටින්නේ දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කළේය.

අතුරුදන්වූවන්ගේ මාපියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය එම නියෝගය කළේ.

අදාළ නීතිවේදීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැහැරගත් පුද්ගලයින් රඳවාගෙන සිටින "ගෝටා බේ" නමැති කඳවුරක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තිබෙන බවට පසුගියදා පාර්ලිමේන්තුවේ අනාවරණය කෙරුණු බව සඳහන් කළහ.

මෙම තරුණයින් පස්දෙනා එම කඳවුරේ සිටිය හැකි බවට අතුරුදන්වූවන්ගේ මාපියන් විශ්වාස කරන බැවින් ඒ පිළිබඳව සොයා බැලීමක් අවශ්‍ය බවයි අතුරුදන් වූ තරුණයකුගේ මවක් කියා සිටියේ. සිය නම හෙළි නොකරන මෙන් ඇය ඉල්ලා සිටියාය.

අදාළ තරුණයින්ගේ අතුරුදන් වීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන මෙන් අභියාචනාධිකරණය කළ නියෝගයකට අනුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රා වරයා මෙම පරීක්ෂණය පවත්වන්නේ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙසින් නම් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. තමන්ට එරෙහි චෝදනා වගඋත්තරකරුවෝ ප්‍රතික්ෂේප කරති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර