වසර අටකට පසු ත්‍රිකුණාමලය සිවිල් පරිපාලනයක් යටතට

Image caption නව දිසා ලේකම්වරයා නිලධාරීන් අමතමින්

වසර අටකට ආසන්න කාලයක් යුද හමුදා නිලධාරියකු යටතේ පාලනය කෙරුණ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය යළි පරිපාලන නිලධාරියකු යටතට පත් කරනු ලැබ ඇත.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය අද (මාර්තු 02) දක්වා යුද හමුදාවෙන් නම් කළ දිසා ලේකම් වරයකු යටතේ පාලනය වූ අතර එම පදවියේ කටයුතු කළේ විශ්‍රාමික යුද හමුදා නිලධාරී මේජර් ජනරාල් පී.ටී .ආර් ද සිල්වායි.

එම හමුදා නිලධාරියා වෙනුවට සිවිල් පරිපාලන නිලධාරියකු පත් කරන මෙන් වසර කීපයක් ම ගෙන ගිය ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනුයි ඉහත කී වෙනස සිදු කෙරුණේ.

මේ අනුව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන එන්.ඒ.ඒ.පුෂ්පකුමාර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නව දිසා ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබ සිටියි.

මේජර් ජනරාල් පී.ටී .ආර් ද සිල්වා, ශ්‍රී ලංකාවේ දිසා ලේකම් පදවියක් දැරූ එකම යුද හමුදා නිලධාරියා වන අතර ඔහු පදවියේ කටයුතු කරද්දී සිය නිල කාර්යාලය තුළ මෙන්ම මහජනතාව අතරට යාමේ දීත් සන්නද්ධ භටයන් යොදා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබුණි.

මහජන උද්ඝෝෂණ

යුද හමුදා නිලධාරියකු යටතේ පවත්වා ගෙන ගිය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සිවිල් පරිපාලන නිලධාරියකුට භාර දෙන මෙන් ඉල්ලමින් පසුගිය රජයේ පාලන සමයේ මහජන උද්ඝෝෂණ පවා දියත් කෙරුණි.

නව දිසාපතිවරයා වැඩ භාර ගැනීම නිමිත්තෙන් පැවැත්වුන පරිපාලන නිලධාරී හමුවේ දී අදහස් දැක්වූ නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එච්.ඊ.එම.ඩබ්ලිව්.ජී.දිසානායක නව වෙනස සඳහා පියවර ගත් සියලු දෙනාට ස්තුති කරන බව කියා සිටියේය.

එම වෙනස අමාරුවෙන් දිනා ගත් සටනක් හැටියටයි ලේකම්වරයා විසින් විග්‍රහ කරන ලද්දේ.

එසේම ඉහත කී වෙනස සිදු වූ අද දිනය ඓතිහාසික දිනයක් වන බවත් ඔහු සඳහන් කළේය.

එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ නව දිසා ලේකම් එන්.ඒ.ඒ.පුෂ්පකුමාර, කියා සිටියේ ආණ්ඩුවේ රාජකාරී විෂයයන් සම්බන්ධයෙන් පිළිගත් ක්‍රමවේදයක් අවශ්‍ය කරන බවයි.

සිය පළාතේ රාජ්‍ය සේවය තුළ එවැනි ක්‍රමවේදයක් නොතිබුන බව සඳහන් කළ දිසා ලේකම්වරයා තමාට පළාතේ ගුරුවරුන් මාරු කිරීම සම්බන්ධයෙන් පවා ක්‍රමවේදයක් සකස් කළ නොහැකි විනැයි සඳහන් කළේය.