භෞතික සම්පත්වලින් 'උතුර දකුණ යාකරන්න බෑ'

උතුර සහ දකුණ එකට යාකිරීම සිමෙන්ති, වැලි, ගඩොල් වැනි භෞතික සම්පත්වලින් පමණක් කළ නොහැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව උතුරු පළාතේ මුල්වරට සංචාරයක යෙදෙමින්.

උතුරේ සංචාරයට එක්වූ ජනාධිපතිවරයා යාපනයේදී පිළිගනු ලැබුවේ උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් විසින්.

යාපනයේ නල්ලූර් කෝවිලේ පැවති විශේෂ ආගමික වතාවත් වලට සහභාගි වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යාපනයේ ශික්ෂණ රෝහල ඇතුලු තවත් ස්ථාන කිහිපයකද සංචාරය කළේය.

ජනාධිපතිවරයාගේද සහභාගිත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වුණු සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙන්ම ඊපීඩීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයාද සහභාගි වී සිටීම විශේෂත්වයක් බවයි, දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ.

ධීවර ප්‍රශ්නය

සිය ධුර කාලය අවසන් වනතුරුම මේ සියලු දෙනා තමන් සමග එකට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරණ බව, රැස්වීම ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේය.

උතුරු නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් මාරු කොට පරිපාලන සේවයේ නිලධාරීන් පත් කරණ ලෙසත්, මහජනයාට අයත් ඉඩම් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන්ට ලබා දෙන ලෙසත් තමන් හිටපු ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ඔහු සවන් නොදීම තමන් ජනපති පදවියට පත්වීමට විශේෂ හේතුවක් වූ බවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යාපනයේදී පැවසීය.

මුල් අයිතිකරුවන්ට අයත් ඉඩම් යුද හමුදාවෙන් ඉවත් කොට ආපසු ලබාදීම දැනටමත් ආරම්භ කොට තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, උතුරු නැගෙනහිර පමණක් නොව කොළඹද එවැනි ඉඩම් තිබෙන බව පෙන්වා දුන්නේ අරලියගහ මන්දිරය ඇතුලුව ස්ථාන ගණනාවක ඇති ඉඩම් ආරක්ෂක අංශ අතට පත්වීමට යුද සමය හේතුවක් වූ බව සඳහන් කරමින්.

ට්‍රෝලර් යාත්‍රාවලින් ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු තීරයට පැමිණීම වලක්වා ගැනීම ඉතා ඉක්මනින්ම සිදු කරණ බව පැවසූ ජනාධිපතිවරයා, ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඉදිරියේදී ඒ පිළිබඳ තවත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවත් සඳහන් කළේය.

උතුරු පළාතේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ කෘෂිකාර්මික කටයුතු නංවාලීම පිණිස කටයුතු කරණ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

ඒ සඳහා පළාතේ දේශපාලකයින් සහ පළාත් පාලන ආයතන ඉදිරිපත් කරණ යෝජනා සැලකිල්ලට ගැනීමටත් ඉදිරිපත් කෙරෙන ගැටලුවලට සවන්දීමටත් තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා පැවසීය.