ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රාජිතට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත් රජයේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී බලය අයුතු ලෙස යොදා ගෙන කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

එම පැමිණිල්ල බාර දුන් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර බීබීසීයට කියා සිටියේ එවකට සිටි ධීවර ඇමතිවරයා බලය අයුතු ලෙස පාවිච්චි කරමින් ධීවරයන්ට අයත් මත්ස්‍ය සම්පත තමා සතු කර ගෙන සිටි බවයි.

2013 මැයි මාසයේ පටන් රුපියල් බිලියන දෙකක පමණ වංචාවක් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර ප්‍රකාශ කළේය.

සාවද්‍ය ප්‍රකාශ -රාජිත

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අදාළ පැමිණිල්ල කඩිනමින් විභාග කරන ලෙසට ඉල්ලීමක් කොට තිබේ.

එම පැමිණිල්ලේ ඉදිරිපත් කර ඇති චෝදනා සනාථ කළ නොහැකි සාවද්‍ය ඒවා බවට තහවුරු වුවහොත් සියලු නෛතික ක්‍රියා මාර්ග ගනිමින් නඩු පැවරීමට කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සහ හිරු නාලිකාව ඇතුළු සෙසු විද්‍යුත් නාලිකාවලට ද එරෙහිව පියවර ගන්නා බව ඇමතිවරයා තව දුරටත් නිවේදනයේ සඳහන් කර තිබේ.