'විශ්වාසදායී' දේශීය පරීක්ෂණයකට එක්සත් ජාතීන්ගේ සහාය

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විශ්වාසදායී දේශීය පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් ප්‍රකාශ කරයි.

ඉඩම්, රඳවා තබා ගැනීම්, අතුරුදහන් වීම් සහ සාමාන්‍ය වැසියන් වෙසෙන ප්‍රදේශවල හමුදාව යෙදවීම ආදී ගැට‍ළු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස තමා ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කර සිටි බවත් ඔහු සඳහන් කළේය.

ජන කොට්ඨාශ අතර අන්‍යෝන්‍ය විශ්වාසයෙහි අඩුවක් පවතින බව කියා සිටින එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් වැඩිදුරටත් පවසන්නේ සිංහල සහ දෙමළ ප්‍රජාව අතර එම තත්වය විශේෂයෙන් දැකිය හැකි බවයි.

සිය සිව් දින නිල සංචාරය අතරතුර ධනාත්මක, සාධනීය සාකච්ඡා පැවති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, උතුරේ මහඇමති සීවී විග්නේශ්වරන් සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා පැවැත්වීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර