ඉන්දුනීසියානු-ඕස්ට්‍රේලියානු සබඳතා අමිහිරි අතට

Image copyright Reuters

ඉන්දුනීසියාවේ දී මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමේ චෝදනා වලට වරදකරුවන් කරනු ලැබ මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබූ ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙක් මරා දැමීමේ සැලසුම් සමඟ ඉන්දුනීසියාව සහ ඔස්ට්‍රේලියාව අතර සම්බන්ධතා අමිහිරි අතට හැරී ඇති බවත් වාර්තා වෙයි.

එම චූදිතයන් දෙදෙනා සිරකරුවන් රඳවා තැබීමට පාවිච්චි කරන ඉන්දුනීසියානු දූපතකට මේ වන විට ගෙනැවිත් ඇති බව වාර්තා වෙයි.

චූදිතයන් දෙදෙනා වෙඩි තබා මරා දමනු ලැබීමට නියමිතයි.

‘බාලි නයින්’ නමින් පෙනී සිටින ඊනියා කල්ලියක නායකයන් දෙදෙනකු වන එම පුද්ගලයන් දෙදෙනා ‘බාලි’ සිර ගෙයක සිට ඉහත කී සිර දූපතට අද බදාදා ගෙන ගිය බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේ නීතිපතිවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඇන්ද්රු චෑන් (Andrew Chan) සහ මයුරන් සුකුමාරන් (Myuran Sukumaran) යන දෙදෙනාට එරෙහි මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීමේ කටයුතු සූදානම් බවයි.

එහෙත් එම මරණ දඬුවම් නිශ්චිතව ක්‍රියාවට නංවනු ලබන්නේ කවදාද යන්න පැහැදිලිව ප්‍රකාශයට පත් කොට නැත.

මේ අතර ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට් ප්‍රකාශයක් කරමින් ඉහත කී චූදිතයන් දෙදෙනා මරා දමනු ලැබීමේ සැලසුම් සම්බන්ධයෙන් තමා බලවත් අප්‍රසාදයට පත්ව සිටින බවයි සඳහන් කළේ.

එම දඬුවම් ක්‍රියාවට නැංවීමෙන් වලකින මෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා දිගින් දිගටම ජකර්තා පාලනයෙන් ඉල්ලා ඇත.