දූෂණ විමර්ශනය කරන්න 'අවංක වුවමනාවක් නෑ'

Image copyright GETTY IMAGES
Image caption ස්විට්සර්ලන්තයේ එච්එස්බීසී බැංකුවේ ශ්‍රී ලාංකිකයන් 92 දෙනකු සතු බැංකු ගිණුම් 129 ක් පවතින බවට වාර්තා

දූෂණ වංචා පිළිබඳව ප්‍රසිද්ධියේ චෝදනා නැගුවත් දූෂිතයන්ට එරෙහිව පියවර ගැනීමට උනන්දුවක් නොදක්වන බවට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කරයි.

විශේෂයෙන්ම නීති විරෝධී ලෙසින් මුදල් රටින් පිට කරන ලද පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබෙන හැඩක් දකින්නට නැති බව මන්ත්‍රීවරයා සංදේශයට පැවසීය.

"මේ උදවිය දූෂණ ගැන කොච්චර මේ ඝෝෂා කිරීම් කළත්, ඇත්තටම දූෂණයක් ගැන හොයන්න අවස්ථාව ලැබුණම එතරම් උනන්දුවක් දක්වන බවක් පෙන්නේ නෑ," ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ස්විට්සර්ලන්තයේ එච්එස්බීසී බැංකුවේ ශ්‍රී ලාංකිකයන් 92 දෙනකු සතු බැංකු ගිණුම් 129 ක් පවතින බවට ගවේෂණශීලී මාධ්‍යවේදීන් පිරිසක් විසින් පසුගියදා සොයා ගන්නා ලද තොරතුරු පිළිබඳව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කොට තිබුණි.

නීති සංශෝධනයක්

ශ්‍රී ලාංකිකයන් සතු එම ස්විස් බැංකු ගිණුම්වල ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 85 ක තැන්පතු මුදලක් පවතින එම ගවේෂණයේදී අනාවරණය වී තිබේ.

Image caption 'මේ උදවිය දූෂණ ගැන කොච්චර මේ ඝෝෂා කිරීම් කළත්, ඇත්තටම දූෂණයක් ගැන හොයන්න අවස්ථාව ලැබුණම එතරම් උනන්දුවක් දක්වන බවක් පෙන්නේ නෑ'

අදාල මුදල් ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් බදු ගෙවීමට යටත්ව තිබුණේද, එම මුදල් රටින් පිටතට ගෙන ගොස් තිබෙන්නේ විදේශ විනිමය රෙගුලාසිවලට අනුකූලව දැයි තමන් ප්‍රශ්න කළ බවත් නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේය.

"නමුත් පිළිතුර අනුව මුදල් ඇමතිවරයාගේ, අපේ නීතියක් තියෙනවලු, ඒ නීතිය අනුව ජනමාධ්‍යයක පල වූ පමණින් ඒක අපේ මූල්‍ය බුද්ධි අංශයට විභාග කිරීම සඳහා සැලකීමට ගන්න බැරිලු," යනුවෙන් ඔහු කියා සිටියේය.

එබැවින් අදාළ නීතිය සංශෝධනය කරන මෙන් තමන් ඉල්ලා සිටි බව පවසන මන්ත්‍රීවරයා, එය සංශෝධනය කිරීම පිණිස සහාය දීමට විපක්ෂය සූදානම් බව අවධාරණය කළේය.

ස්විස් බැංකුවල පමණක් නොව ලොව පුරා වෙනත් විදේශීය බැංකුවල මුදල් තැන්පත් කොට තිබෙන ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු සොයා බලන්නේ දැයි ළඟදීම යළිත් වරක් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා නගන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය විමසීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර