ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මී ළඟ මැතිවරණය මිශ්‍ර නියෝජන ක්‍රමයක් යටතේ

මැතිවරණ ක්‍රමය සංශෝධනය කර නව මැතිවරණය ක්‍රමයක් යටතේ මීළඟ මහමැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

සෑම ආසනයකට මන්ත්‍රීවරයෙකු ලැබෙන කලින් පැවති ඡන්ද කොට්ඨාශ ක්‍රමය හා දැනට පවතින සමානුපාතික ක්‍රමය මිශ්‍ර කර නව මැතිවරණ ක්‍රමය සකස් කෙරෙන බවයි ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ.

නව නියෝජන ක්‍රමය නිර්මාණය කළ යුතු ආකාරය පිළිබඳව මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

‘1988 සිට අද දක්වා පවතින සමානුපාතික ක්‍රමයේ ඡන්දවල ප්‍රතිඵලය ලැබෙන විදියට ම මෙම නව ක්‍රමය සකස් වෙනවා. ආසන අනුව මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත් වෙනවා. ඒ වගේම සමානුපාතික ක්‍රමයටත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත් වෙනවා. නමුත් ප්‍රතිඵලය එකමයි" සෞඛ්‍යය ඇමතිවරයා නව මැතිවරණ ක්‍රමය විස්තර කරමින් සඳහන් කළේය.

අලුත් මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට කල් ගත වන නිසා පවතින ක්‍රමය අනුව මෙවර මැතිවරණයත් පවත්වා පසුව එම ක්‍රමය වෙනස් කළ හැකි බව ඇතැම් කණ්ඩායම් පැවසුවත් මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් නව ක්‍රමයක් ඉක්මනින් සකස් කොට මැතිවරණය පැවැත්විය හැකි බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එජාප ස්ථාවරය

Image copyright UNP
Image caption එජාප මහ ලේකම් කබීර් හෂීම් ඇමතිවරයා

නව ක්‍රමය අනුව මී ළඟ මහ මැතිවරණය පවත්වනවා නම් මැතිවරණය කෙටිකාලයකට කල් දැමීම ප්‍රශ්නයක් නොවන බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයේ මතය එය වුවත් එක්සත් ජාතික පක්ෂයේ මතය වී තිබෙන්නේ පොරොන්දු වූ පරිදි අප්‍රේල් මස 23වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් ඊයේ බදාදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, නව හෝ පරණ ක්‍රමය යටතේ මැතිවරණය පොරොන්දු වූ කාල වකවානුවේ පැවැත්විය යුතුය යන්න තම පක්ෂයේ මතය වන බවයි.

‘අළුත් මැතිවරණ ක්‍රමය නිසි වෙලාවට ක්‍රියාත්මක කරන්න හැකියාවක් ඇත්නම් ඉතා හොඳයි. ඒත් නව ක්‍රමයකට යන්න බැරි නම් එය හේතුවක් කර ගෙන මැතිවරණය නොපවත්වා ඉන්න බැහැ’ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා කියා සිටියේය.