ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහින්ද සිරගත කිරීමේ සැලැස්මක්?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරියට පමුණුවා සිරගත කිරීමේ සැලැස්මක් තිබෙන බව පිවිතුරු හෙළ උරුමය නායක බස්නාහිර පළාත්සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ හිටපු ජනාධිපතිවරයාට සහයෝගය සඳහා මහනුවර පැවැත්වුන මහජන රැළියක් අමතමිනි.

එහෙත් හිටපු ජනාධිපතිවරයකුට ඔහුගේ ධූර කාලය අළලා අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට හැකියාවක් නැති බවයි උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා කියා සිටියේ.

මව්බිම වෙනුවෙන්

මේ අතර මහනුවර රැලියට පණිවුඩයක් එවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘මව්බිම වෙනුවෙන් කටයුතු කිරීම නිසා ලැබෙන දඬුවම අභිමානයක් වන' බවක් කියා සිටියේය.

ජයග්‍රහණය සඳහා ඇති එකම මාවත මහජනතාව විසින් මේ වන විට තෝරා ගෙන ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එවන ලද එම පණිවුඩය මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් කියවන ලද අතර එමගින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ‘ජනතාව ඉල්ලා සිටින දේ ලබා දීමට තමා පොරොන්දු වෙන’ බවයි.

මහින්ද රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කළ යුතු බව ඉල්ලා සිටිමින් මහනුවර සංවිධානය කෙරුණ රැස්වීමට සහභාගී වීමෙන් වළකින මෙන් නිදහස් පක්ෂ නායකත්වය සිය සාමාජිකත්වයට උපදෙස් දී තිබුනත් පක්ෂයේ පහළ මට්ටමේ දේශපාලකයන් විශාල පිරිසක් ඊට සහභාගී වූ බව ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරයි.

නායකයන් නැහැ

පක්ෂයේ ඉහල මට්ටමේ නායකයන් මහනුවර රැස්වීමට සහභාගී වී නැත.

වෙනත් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පක්ෂයේ අනුමැතියකින් තොරව සහභාගි නොවිය යුතු බව පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පසුගියදා දැනුම් දී තිබුණි.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන්ද, උදය ගම්මන්පිල හිටපු පළාත් සභා අමාත්‍යවරයාද රැස්වීම අමතා කතා කළහ.