ජයකුමාරි නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවක්

Image caption මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිවේදීන් මෙම විරෝධතාවට එක්ව සිටියහ

රැඳවුම් භාරයේ පසුවන මානව හිමිකම් ක්‍රියාධාරිනියක වන බාලේන්ද්‍රන් ජයකුමාරි නමැති කාන්තාව මුදා හරින මෙන් රජයට බල කරමින් කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපස ඊයේ (06 වැනි සිකුරාදා) නිහඬ විරෝධතාවක් පැවැත්විණි.

මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිවේදීන් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

විරෝධතාකරුවන් අවධාරණය කර සිටියේ නඩු විභාගයක් නොමැතිව දින 352 ක් රඳවාගෙන සිටින ජයකුමාරි නිදහස් කිරීමට රජය වහා පියවර ගත යුතු බවයි.

අතුරුදන් වුවන් පිලිබදව සොයා බැලීමේ කමිටුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු අදහස් දක්වමින් කියා සිටියේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට රජය කර ඇති ප්‍රකාශය සතුටට කරුණක් වුව ද එය ප්‍රායෝගිකව ව ක්‍රියාත්මක නොවන බවයි.

විදියේ විරෝධය සංවිධානයේ ගායක ජයතිලක බණ්ඩාර අදහස් දක්වමින් වත්මන් රජය දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිලිබද ව මහත් උවමනාවෙන් බලා සිටින බව කියා සිටියේය.

මේ අතර ජයකුමාරි රඳවා ගැනීම පිළිබද නඩුව අද කැඳවූ අවස්ථාවේදී ත්‍රස්ත මර්ධන අංශය අධිකරණයට දැනුම් දී සිටියේ මෙම සැකකාරිය පිලිබදව ගන්නා ක්‍රියා මාර්ගය ගැන නීතිපතිවරයාගේ ලිඛිත උපදෙස් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි.

ඒ අනුව පැමිණිල්ල ලබන 10 වනදා දක්වා කල් තැබූ අධිකරණය එදිනට නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කරන මෙන් පොලිසියට නියම කළේය.

කොටි සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම සදහා මුල් වී ක්‍රියාකළ ගෝපි නමැති පුද්ගලයාට නවාතැන් පහසුකම් ලබා දුන් බවට චෝදනා කරමින් පසුගිය වසරේ බාලේන්ද්‍රන් ජයකුමාරි ත්‍රස්ත මර්ධන පනත යටතේ රජයේ ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.

එහෙත් තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඇය සිය නීතිවේදීන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර