ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කාන්තා දිනය: දරුවන්ටත් අමතක වූ මවක්

කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන හිංසනය පිටු දැකීම සඳහා වන කොමිෂන් සභා වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට කාර්ය සාධක බළකායක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ලෝක කාන්තා දිනය සමරමින් අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින්.

මහජන නියෝජිත ආයතනවල කාන්තා නියෝජනය, කාන්තා හිංසනය වැනි කරුණු පිළිබඳව ජාත්‍යන්තර කාන්තා දිනයේ ප්‍රධාන අවධානය පළ වෙද්දී බලධාරීන්ට පමණක් නොව සිය දරුවන්ටත් අමතක වූ මවක් සංදේශයට මුණ ගැසුණි.

මහමග සිඟා කන අසූ හතර හැවිරිදි මේ මාතාව සිය වේදනාව කන්තලේ ආර් ජී ධර්මදාසට හෙළි කළාය.

‘පිං පඩිය රුපියල් දෙදාහක් හම්බවෙනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ළමයි සළකන්නේ නැහැ මට. මගේ අම්ම බුදුන් දැක නිවන් දකින්න ඕන. අම්ම දීපු කිරි වල බලය, හයිය මට තාම තියෙනවා. මට ඉන්න තැනක් නැහැ. ගෙයි වහලේ උඩට ගහක් කඩා වැටුනා.’ ලොකු මැණිකා සිය දුක් ගැනවිල්ල කියා සිටියේ හද බිඳෙන සුළු ස්වරයෙන්.

මීට සය දශකයකට පමණ පෙර ගොවි ජනපද කරා සේන්දු වී මහ පොළොව සමඟ හැප්පී මේ වන විට මහලු වියේ පසු වන බොහෝ කාන්තාවන් අද අසරණ වී ඇති බවයි සංදේශයට වාර්තා වන්නේ.

එවැනි මව්වරුන් රැක බලා ගැනීමට කිසිවෙකු නොමැති වීම සමාජ ගත ප්‍රශ්නයක් වී ඇති බවයි නැගෙනහිර පළාතේ හිටපු සංස්කෘතික අධ්‍යක්‍ෂ ප්‍රවීණ නාට්‍ය ශිල්පී උපනන්ද වැලිකල පවසන්නේ.