ජනපතිට එරෙහිව ලන්ඩනයේ උද්ඝෝෂණ

Image caption අතුරුදහන්වූවන් පිළිබඳ විස්තර හෙළි කරන්න - බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ජනපතිගෙන් ඉල්ලයි

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීමේ උත්සවවලට සහභාගි වන අතරවාරයේ, බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජා සංවිධාන කිහිපයක සාමාජිකයෝ ලන්ඩනයේ උද්ඝෝෂණවල නිරතව සිටියහ.

කෙසේ නමුත් විදේශගත දෙමළ ප්‍රජාව නියෝජනය කරන ප්‍රධානම සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදය විරෝධතාවයට සහභාගි නොවීම කැපී පෙනුණි.

යුද සමයේ අතුරුදහන් වූ සිය ඥාතීන් සොයා දෙන මෙන් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණවල යෙදී සිටින ජනතාවට සහාය පළ කිරීම සිය විරෝධතාවයේ අරමුණ බවයි, බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

දින සියය

සිය නම හෙළි නොකළ ඔහු තමා ශිවා නමින් හඳුන්වන මෙන් බීබීසී යෙන් ඉල්ලා සිටියේය.

අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම පිණිස දැනටමත් ජනාධිපති කොමිසමක් ක්‍රියාත්මක වන්නේ නොවේදැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ශිවා කියා සිටියේ, 2009 සිට අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳව සොයා බලන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දින සියයේ වැඩසටහනෙන් ප්‍රතිඥාවක් දී නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ඡන්දදායකයන්ගෙන් විශාල පිරිසක් වත්මන් ජනපතිවරයා තෝරා පත්කර ගැනීම පිණිස සිය ඡන්දය භාවිත කළ බව බීබීසීය පෙන්වා දුන් අවස්ථාවේ බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ ප්‍රකාශකයා කියා සිටියේ සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන මෙන් දැන් ඒ ජනතාව නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.

යුද අපරාධ චෝදනා පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කරනු ලැබුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම මත බවත් ඔහු සඳහන් කළේය.