ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බැඳුම්කර ගනුදෙනුව ගැන ස්වාධීන කොමිසමක් ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කොට ඇති බැඳුම්කර ගනුදෙනුවකදී සිදුවී ඇති බව පැවසෙන මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් පත් කරන ලෙස දූෂණ විරෝධී පෙරමුණ ඉල්ලා සිටියි.

බැඳුම්කර නිකුත් කිරීමේදී මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනණුවන්ට අයත් පර්පර්චුවල් ටෙ‍්‍රෂරි මූල්‍ය ආයතනයට මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු ලබා දී ඇති බවට එම පෙරමුණ චෝදනා කළේය.

බැඳුම්කර වෙන්දේසියේදී බරපතළ වංචාවක් සිදු වී ඇති නිසා චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පහසුවන ආකාරයෙන් මහ බැංකු අධිපතිවරයා තාවකාලිව ඉල්ලා අස් විය යුතු බවයි දූෂණ විරෝධී පෙරමුණෙ සාමාජික නීතිඥ ශ්‍රී ලාල් ලක්තිලක සංදේශයට පැවසුවේ.

රුපියල් බිලියනයක බැඳුම්කර අලෙවි කරන බවට ඉල්ලුම් පත් කැඳවා තිබුණ නමුත් මහ බැංකුව පසුව රහසිගත ලෙස බැඳුම්කර අලෙවිය බිලියන 10 දක්වා ඉහල දැමීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ.

නමුත් ඒ බව ප්‍රසිද්ධියට පත් කර නොතිබුණු බව පැවසූ එම තීරණය ගෙන ඇත්තේ මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් බවයි නීතිඥ ශ්‍රී ලාල් ලක්තිලක සඳහන් කළේ