‘මැතිවරණ හදිසිය විහිළුවක්’- සෝභිත හිමි

Image caption මාදුළුවාවේ සෝභිත හිමි

රජයට මැතිවරණයක් කරා යාමට අවශ්‍ය නම් පළමුව ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමෙන් පසු එම පියවර ගැනීමට බාධාවක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

උන්වහන්සේ එම අදහස් පළ කළේ තවත් ආගමික නායකයන් ද සහභාගී වූ සාකච්ඡාවකදී.

‘නව රජය විසින් දෙන ලද ප්‍රධාන පොරොන්දු ඉටු කරනු ලැබීමෙන් තොරව පවත්වනු ලබන මහ මැතිවරණය විහිළුවක් බවයි’ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අදහස වන්නේ.

තව දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ මහජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වන බවයි.

‘විධායක ජනාධිපති ක්‍රමයේ බරපතළ පීඩාවෙන් නිදහස් වීමට මහජනයා තුළ විශාල උවමනාවක් තිබුණා. එවැනි ඉල්ලීමක් තිබියදී දින සීයක් ඇතුළත එය අහෝසි කරන බවට මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමෙන් ප්‍රතිඥාවක් ලැබුණා. දැන් දින හැටක් ම ගෙවිලා’ මාදුළුවාවේ සෝභිත හිමියෝ පෙන්වා දෙති.

මැතිවරණ ක්‍රමය

අනාගතයේ දී සිදු කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී සමස්ත සමාජය දේශපාලනීයකරණය කිරීමට මුල් වූ මනාප ඡන්ද ක්‍රමයත් වෙනස් කරන ලෙසයි සෝභිත හිමියන් ඉල්ලා සිටින්නේ.

ඉහත කී සාකච්ඡාවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කියා සිටියේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ සාකච්ඡා කල් තබා ආරම්භ නොකෙරුණ බවයි.

Image caption ඕමල්පේ සෝභිත හිමි

‘මේ පිළිබඳව සාකච්ඡා පටන් ගත්තෙත් ඊයේ. සාකච්ඡා පටන් ගත යුතුව තිබුනේ ජනවාරි මාසයේ මුල් සතියේ. දැන් කියනවා එම කාර්යය සඳහා කාලයක් ගත වෙන නිසා එය මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව. මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලිව කියල තියෙනව -මෙය දින තිහක් වගේ කාලයක් ඇතුළත කරන්න පුළුවන් බව’ රතන හිමියෝ පවසති.

දූෂකයන්ට දඬුවම් නැහැ

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නම් මැතිවරණයකට යාම පිළිබඳව තමන්ගේ විරෝධයක් නැතැයි සඳහන් කළ අතුරලියේ රතන හිමියෝ, එහෙත් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සහ ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කරනු ලැබීමත් මහ මැතිවරණයට පෙර අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු බවයි අවධාරණයෙන් කියා සිටියේ.

‘එක් එක් අයගේ හඳහන් පත්‍ර අනුව නොව රටේ ජනතාවගේ හඳහන් අනුව කටයුතු කරන මෙන්’ ඉල්ලා සිටි අතුරලියේ රතන හිමියෝ මී ළඟ මහ මැතිවරණය මනාප ක්‍රමයෙන් තොර මැතිවරණයක් විය යුතු බවත් සඳහන් කළහ.

Image caption අතුරලියේ රතන හිමි

දිනසීයට සීමා වීම

එම සාකච්ඡාවේ දී ජාතික හෙළ උරුමය නායක ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ, මහජනයාගේ මූලික බලාපොරොත්තුව වූ දූෂණ වංචා හොරමැරකම් නතර කිරීම පමණක් නොව ඒවා සිදු කර ඇති අයට දඬුවම් දීමේ අපේක්ෂාවත් දැන් ගිලිහී යන ස්වරූපයක් දක්නට ලැබෙන බවයි.

රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ තුනෙන් දෙකේ බලය උපයෝගී කර ගනිමින්, අධිකරණය පවා නොමග යවමින් අක්‍රිය කෙරුණ ස්වාධීන කොමිසන් සභා බල ගන්වන ලෙස ඉල්ලීමක් කළේය.

යහ පාලනය දිනසීයකට සීමා කිරීම තුළ එම වචන දෙක අභාග්‍ය සම්පන්න තත්වයකට පත් වී ඇති බවයි රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ.