ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රටට දෙයියන්ගේම පිහිටයි -මහින්ද රාජපක්‍ෂ

යම් යම් අය අත්අඩංගුවට ගැනීම් ගැන පොලිස්පති හෝ නීතිපති කළ යුතු ප්‍රකාශ ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් සිදු කරන්නට පටන් ගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි.

රටේ සංවර්ධනය නතර වී ඇති බවත් යහ පාලනය මෙය නම් රටට දෙයියන්ගේ පිහිට පතන්නට සිදු වන බවත් හිටපු ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ මිහින්තලා පුදබිමට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකදී යි.

මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ වත්මන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව සිය අදහස කවරක්ද යන්නයි.

සුබ අනාගතයක්

‘වෛරය, ක්‍රෝධය, පලි ගැනීම නැවතී රටට සුබ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. දැන් හැම තැනම සමහරු රැකියාවලින් දොට්ට දානවා. එක එක්කෙනාගෙන් පලි ගන්න සුදානම් වෙලා තියෙනවා. මම දැක්ක අද පත්තරවල පළ වී තියෙනවා පොලිස් පති කිව යුතු දේ, නීතිපති කිව යුතු දේ දේශපාලනඥයින් කියන්න පටන් ගෙන තියෙනවා. අහවලා අත්අඩංගුවට ගන්නවා දවස් දෙකක් ඇතුළත. අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනවා. මේකද යහ පාලනය? යහ පාලනය මේක නම් දෙයියන්ගේම පිහිටයි රටට.’

‘රටේ සියලුම සංවර්ධන කටයුතු දැන් නතර වෙලා. මං දන්නේ නැහැ ඒ ඇයි කියල. සංවර්ධන කටයුතු නතර වෙනවා කියන්නේ වැඩ කරන කම්කරුවන්ගේ ඉංජිනේරුවන්ගේ රැකියා අහිමි වෙනවා. මේ නිසා රටේ ජනතාව අතරට මුදල් ගලා යාම නවතිනවා. මේ ප්‍රශ්න දිහා රජය මීට වඩා සංවේදීව බලන්න ඕන.’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැවසීය.

පොර්ට් සිටි

කොළඹ වරාය පුරවරය පිළිබඳව සංදේශයේ අතුල බණ්ඩාර කළ විමසීමක දී හිටපු ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

‘පොර්ට් සිටි ව්‍යාපෘතිය නතර වේයැයි මම හිතන්නේ නැහැ. එහෙම නතර කළොත් ඒක මහා අපරාධයක්. මොකද, පොර්ට් සිටි ව්‍යාපෘතිය වගේ එකක් අපට තව අවුරුදු සීයකට දෙසීයකට හදා ගන්න බැහැ. ඒ වගේ ව්‍යාපෘතියක් මේ වෙලාවේ නතර කළොත් රටේ සංවර්ධනය අවුරුදු දෙසීයක් විතර පස්සට යනවා.’

‘ආණ්ඩු වෙනස් වෙන්න පුළුවන්. පාලනය හොඳ නැත්නම් පාලකයා අයින් කරන්න ඕන. ඒක ජනතාව ගන්නා වූ තීරණයක්. නමුත් ඊළඟට පත් වන නායකයා ඒ සංවර්ධන කටයුතු නතර කරනවා කියන්නේ ඒක තුළින් ඇති විය හැකි ප්‍රතිඵලය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕන. මං හිතනවා මේ අය සාකච්ඡා කරලා මීට වැඩිය හොඳ තීන්දුවක් ගනීවි කියලා.’ හිටපු ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ජාතික ආණ්ඩුවක් පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව කී හිටපු ජනාධිපතිවරයා තම පාලන සමයේ ආරම්භ කළ මිහින්තලා පුද බිමේ සංවර්ධන කටයුතු නතර වීම පිළිබඳව කනස්සල්ල පළ කළේය.