ඡන්දෙ ඉල්ලන්න සුදුසුකම්

යම් පුද්ගලයෙකුට මැතිවරණයකට ඉදිරිපත් වීමට නාම යෝජනා ලබා දීමේ දී දේශපාලන පක්ෂ විසින් සැලකිල්ලට ගත යුතු නිර්ණායක අටක් ඇතුළත් ලියවිල්ලක් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන පැෆරල් සංවිධානය එළි දක්වයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක ම නායකයෝ සහභාගි වුහ.

අපරාධයක් සඳහා සිර දඬුවමකට ලක් වූ හෝ අත්හිටවූ සිර දඬුවමකට ලක් වුණු පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදිය යුතු බවයි පැෆ්රල් සංවිධානය විසින් සම්පාදිත මාර්තු 12 ප්‍රකාශනය ලෙස හැදින්වෙන මෙම ප්‍රකාශයේ සඳහන් වන්නේ.

ඊට අමතරව මද්‍යසාර, මත් ද්‍රව්‍ය, සූදු හා කැසිනෝ ආදී රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර වලට සම්බන්ධ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන්ට ද දේශපාලන පක්ෂ නාම යෝජනා ලබා නොදිය යුතු බවයි පැෆ්රල් සංවිධානය තවත් පුරවැසි සංවිධාන සමග එක්ව පිළියෙළ කළ මෙම ලියවිල්ලෙන් ඉල්ලා සිටින්නේ.

මෙම ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිකුත් පක්ෂත් මෙම ලියවිල්ලට තම එකගතාවය පළ කරන බවයි.

මෙම යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමෙන් හොඳ දේශපාලනඥයන් කණ්ඩායමක් බිහි වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

රටේ ප්‍රධාන කාරනා පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා නොකිරීම පාර්ලිමේන්තුවේ වැදගත්කම අඩු වීමට එක් හේතුවක් බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

රටට පොරොන්දු වූ පරිදි දින 100 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් දින 100 වැඩසටහන ප්‍රාණ ඇපයට ගෙන කටයුතු කිරීම පිළිබඳව සිය විරෝධය පළ කරන බව ද පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙම යෝජනා පිළි ගැනීම එතරම් අසීරු නොවන බවයි.

වර්තමාන දේශපාලන සංස්කෘතිය බිහි වීමට මනාප ඡන්ද ක්‍රමය හේතු වූ බවත් එය වෙනස් කිරීම සියල්ලට ම වඩා වැදගත් බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

දින 100 වැඩ පිළිවෙළ මගින් පොරොන්දු වූ පරිදි අප්‍රේල් 23 පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යාමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණය විපක්ෂ නායකවරයා මෙහි දී දැඩි ලෙස විවේචනය කළ අතර පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම කල් දැමීමට අග්‍රාමාත්‍යවරයා උත්සහ ගන්නා බවට ද චෝදනා කළේය.

ජනතාවට අවශ්‍ය ඉක්මන් මැතිවරණයකට වඩා මැතිවරණ ක්‍රමයේ වෙනසක් බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.