ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වතුකරයේ නායකයන්ට නව දිල්ලියට ආරාධනා

ශ්‍රී ලංකාවේ වතු කම්කරු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීම සඳහා නව දිල්ලියට පැමිණෙන ලෙස අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝඩි තමන්ට ආරාධනා කළ බව ජාතික ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසයි.

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වලින් බැහැර දිවයිනේ වෙනත් ප්‍රදේශවල ජීවත් වෙන දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයෝ අද (14) සවස කොළඹ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදි මුණ ගැසී සාකච්ඡා කළහ.

ජාතික ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ජාතික කම්කරු සංගමයේ නායක පී.දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණේ නායක වී.රාධක්‍රිෂ්ණන් ඇතුළු දේශපාලනඥයන් කණ්ඩායමක් ඉන්දියානු අගමැතිවරයා මුණ ගැසුන බවයි වාර්තා වන්නේ.

එම හමුව සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ජාතික ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙකේ පමණක් නොව සෙසු පළාත්වලත් දෙමළ ජනතාව ජීවත් වෙන අතර එම සෙසු පලාත්වල දෙමළ ජනයාගේ ප්‍රශ්න පිළබඳව ඉන්දියානු අගමැතිවරයා දැනුවත් කළ බවයි කියා සිටියේ.

නිවාස විසි දහසක්

විශේෂයෙන් ම කඳුරට වතුකරයේ දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව ඉන්දියානු බලධාරීන්ට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බව පෙනී ගිය බවත් ජාතික ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසයි.

වතුකරයේ නිවාස ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් නිවාස විසි දහසක් සදා දෙන මෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීමට ඉන්දීය අගමැතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් පළ වූ බවත් ජාතික ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණේ නායකයා පවසයි.

වතුකරයට නිවාස විසි දහසක් තනා දීමේ යෝජනාව ඉන්දියාවට ඉදිරිපත් කරනු ලැබීම රටේ ප්‍රශ්න පිටට දීමක් නොව එම කාරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදි අතර සාකච්ඡාවේදීත් මතු වූ බවයි මනෝ ගනේෂන් සඳහන් කළේ.