දූෂකයන් කරපු හානිය එන්නේ ජනතාවට - රනිල්

Image copyright Getty

දූෂිතයන්ට දඬුවම් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී ඔවුන් විසින් ජනතාවට කරනු ලැබූ හානියට මුහුණ දී ඉදිරියට යා හැකි ආණ්ඩුවක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

‘දූෂකයන්ට දඬුවම් කළා කියලා පමණක් අපට සෑහීමකට පත් වෙන්න බැහැ. මේ දූෂකයන් කරපු හානිය එන්නේ ජනතාවට. අපි කොහොමද ඒකට පිළිතුරු දෙන්නේ. ඒකට මුහුණ දීලා ඉදිරියට යන්න පුළුවන් ආණ්ඩුවක් අවශ්‍යයි’ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ උතුරු කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් අමතමින්.

මුහුණ දී ඇති ණය උගුලෙන් රට බේරා ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි ඔහු එහිදී කියා සිටියේ.

අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයකට ගොස් ජාතික ආණ්ඩුවක් පිහිටුවා රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

‘ඒ ජාතික ආණ්ඩුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් තියෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට කියලා කියනවා. අපි බහුතරයක් අරගමු, ඒත් ජාතික ආණ්ඩුවක් ඇති කරලා මේ රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳන්න බලමු’ ඔහු පැවසීය.

එළඹෙන මහ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය තනිවම තරග කරන මුත් අනෙකුත් පක්ෂ එක් වන්නේ නම් ඒ සඳහා ඔවුන් එක් කර ගන්නා බවත් අගමැතිවරයා කියා සිටියේය.

‘ඊළඟ සැරේ අපි වැඩ කරලා ජය ගමු. අපි තනියම යන්නේ. අපිට වෙන කවුරුවත් නැහැ. අනිත් පක්ෂ එක් වෙනවා නම් අපි ආදරයෙන් ඒගොල්ලෝ පිලි ගන්නවා’ ඔහු පැවසුවේය.

'බැහැපු අල තැම්බෙන තුරු'

පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණින් එවකට ජනාධිපති අපේක්ෂකයාව සිටි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ තමා එක්ව තරග කළ බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා අපේ කර උඩ ගෙනිහිල්ලා අපි එතුමාව ජනාධිපති කළා. එතුමා කිව්වා මම පැරදුනා නම් අඩි අටක් යට කියලා. මට හිතුනා එතකොට එතුමාට එහෙම වුනා නම් දැන් ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ඒ වල බලන්නවත් එනවද කියලා’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර එම රැස්වීමට එක් වී සිටි මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ ජනතා මුදල් සොරා කෑ පුද්ගලයන් අධිකරණය හමුවට ගෙන එන බවයි.

‘අල බහිනකම් හිටපු අය, අල තැම්බෙනකම් චුට්ටක් ඉන්න ඕනි කියන එක මම මතක් කරන්න කැමතියි’ මුදල් අමාත්‍යවරයා පැවසීය.