ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චිත්‍රපට බෙදාහැරීමට 'රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි'

ශ්‍රී ලංකාවේ චිත්‍රපට බෙදාහැරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය බව ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පිනිය යශෝධා විමලධර්ම පවසයි.

පෞද්ගලික අංශය චිත්‍රපට බෙදාහැරීමට සම්බන්ධවීම පිළිබඳව කිසිදු විරෝධයක් නැති බව පවසන ඇය, කෙසේ නමුත් එය සම්බන්ධීකරණය කිරීම සඳහා රාජ්‍යය මැදිහත් විය යුතු බව අවධාරණය කරන්නීය.

යශෝධා විමලධර්ම ඒ බව කියා සිටියේ පසුගියදා ලන්ඩනයේ සංචාරයක යෙදී සිටියදී බීබීසී සංදේශය මැදිරියට පැමිණි අවස්ථාවේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අදහසක් පදනම් කරගෙන සුමිත්‍රා පීරිස් විසින් නිර්මාණය කරන ලද වෛශ්නාවී සිනමා සිත්තම මේ වසරේ ප්‍රදර්ශනය කරන මෙන් ඇය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්නීය.

"මොකද සුමිත්‍රා පීරිස් මහත්මියගේ සුවිශේෂී උපන්දිනය, 80 වැනි උපන්දිනය මේ අවුරුද්දේ යෙදෙන්නේ," යශෝධා විමලධර්ම සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.

"ඒකෙ තවත් විශේෂත්වයක් වෛශ්නාවී තිර පිටපතේ සංකල්පය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ වීම. ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔහු යන්නට පෙර ඒ ප්‍රතිචාරය දැකගන්න ලැබේවි කියල. ඔහු දැන් 96 වැනි වියේ ඉන්නේ."