ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැතිවරණ සංශෝධන: 'නොකළොත් කවදාවත් බෑ'

මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකරන්නේ නම්, යළි කිසිදිනෙක ඒ සඳහා අවස්ථාවක් ලැබෙනු නැති බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානය අනතුරු අඟවයි.

ක්‍රමයේ සංශෝධනයකින් තොරව සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වෙන මහ මැතිවරණයකින් කිසිදු පක්ෂයකට තුනෙන් දෙකේ බහුතර බලයක් ලබාගැනීමේ හැකියාවක් නොමැති බවයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට කියා සිටියේ.

එබැවින් විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන සංශෝධනය මෙන්ම මැතිවරණ ක්‍රමයේ සංශෝධනයද සමගාමීව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි.

මැතිවරණය කල් දැමේ?

කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 140 ක්, සමානුපාතික ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 70 ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 25 ක් තෝරා පත්කර ගැනීමේ යෝජනාවට මුලින් කිසියම් බියක් දැක්වූ බොහෝ දේශපාලන පක්ෂ දැන් සාධනීය ප්‍රතිචාරයක් පළ කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

Image caption මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව පක්ෂ නායකයන් සහ මැතිවරණ කොමසාරිස් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වනවා - ජනපති

දේශපාලන අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් මැතිවරණ ක්‍රමයේ සංශෝධනය මාස තුනකට අඩු කාලයක් තුල ක්‍රියාත්මක කළ හැකි බව රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කරයි.

විශේෂයෙන්ම සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ වැනි කුඩා පක්ෂ කිසියම් බියක් දැක්වීම සාධාරණ බව පෙන්වා දෙන කැෆේ සංවිධානය, භූමි ප්‍රමාණය සහ ජනගහනයට අනුපාතිකව සැලකීම සම්බන්ධ ව්‍යවස්ථා විධිවිධානය යොදාගනිමින් විශේෂ මන්ත්‍රීවරුන් 15 ක් ඇතුලත් කරමින් එම පක්ෂවලට සිදුවන අසාධාරණය වැළැක්විය හැකි බව සඳහන් කරයි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කොට මහ මැතිවරණය කැඳවීම මගින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේදින සියයේ වැඩපිළිවෙල ප්‍රකාර අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවස්ථාව නොලැබෙනු ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පිළිගත්තේය.

එහෙත් 'වැඩ සියයක්' පිළිබඳවත් ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩපිළිවෙලට ඇතුලත් බව පෙන්වා දෙන ඔහු, ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා වැදගත් වන්නේ එම වැඩ සියයෙන් කොතරම් ප්‍රමාණයක් ඉටු කරන්නේද යන්න බව සඳහන් කරයි.